a-thief-stole-money-by-saying-walane-stanadhipa-indika

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ අනන්‍යතාව සමාජ මාධ්‍ය ජාලා හරහා ව්‍යාජ ලෙස භාවිතා කරමින් මහා පරිමාණ කප්පම් ගැනීම්වල නිරත වූ පාතාලයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඊයේ (25) පස්වරුවේ බණ්ඩාරගම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 620ක ප්‍රමාණයක් ද සොයා ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.




සැකකරු විසින් ෆේස්බුක් ගිණුමක් හරහා පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටිමින් දිවයින පුරා සිටින ධනවත් ව්‍යාපාරිකයන් ඉලක්ක කරගෙන මෙම ජාවාරම මෙහෙයවා ඇත. අදාළ ව්‍යාපාරිකයන් නීති විරෝධී කටයුතුවල නිරත වන බවට තමන් වෙත පෙත්සම් ලැබී ඇති බව පවසමින් ඔවුන්ව බියගන්වා ඇති අතර, එමගින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් කප්පම් ලෙස ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඊයේ දිනයේදී ද එවැනි එක් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගැනීම සඳහා බණ්ඩාරගම අධිවේගී මාර්ග පිවිසුම අසලට පැමිණි අවස්ථාවේදී වලාන දූෂණ මර්දන බළකාය විසින් සිදු කළ ක්ෂණික වැටලීමකදී මොහු කොටුවී ඇත.

මීට අමතරව, දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන හා ආරාමවල වැඩවසන භික්ෂූන් වහන්සේලා මෙන්ම මෙහෙණින් වහන්සේලා ද මෙම ජාවාරම්කරුගේ වංචාවලට ගොදුරු වී තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ එංගලන්තයේ වෙසෙන නැගණියක් විසින් දානමය පුණ්‍යකර්මයක් සූදානම් කර ඇති බවට පවසා උන්වහන්සේලාගේ විශ්වාසය දිනාගෙන ඇති මොහු, පසුව තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් අදාළ විහාරස්ථානවල සහ ආරාමවල බැංකු ගිණුම්වල පැවති මුදල් සියුම් ලෙස අපහරණය කර ඇති බවට තොරතුරු හෙළිවී ඇත.




මෙලෙස නීතියේ රැහැනට කොටුවූ පුද්ගලයාට ස්ථිර පදිංචි ස්ථානයක් නොමැති බව පොලිසිය ප්‍රකාශ කරයි. ඔහු සිය අනන්‍යතාවය සහ පදිංචිය වසන් කරමින් මාතර, අම්බලන්තොට, ගාල්ල සහ මාරවිල වැනි ප්‍රදේශවල වරින් වර තාවකාලිකව පදිංචි වෙමින් මෙම අපරාධ ජාලය මෙහෙයවා ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ.