ශ්‍රී ලංකාව තුළ මේ වන විට නීතිඥවරුන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව ඇති බව පෙන්වා දෙමින් මෙරට ප්‍රධාන පෙළේ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින් විසින් ජාත්‍යන්තර වෘත්තීය හා මානව හිමිකම් සංවිධාන රැසක් වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
මෙම සුවිශේෂී ලිපිය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අත්සන් තබා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුළු ප්‍රමුඛ පෙළේ දේශපාලන නායකයින් පිරිසක් ද මීට සිය එකඟතාවය පළ කරමින් අත්සන් කර තිබීම විශේෂත්වයකි.
දේශපාලන නායකයින්ගේ අත්සනින් යුත් මෙම ලිපිය ජාත්‍යන්තර නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම, නීතිඥයන්ගේ ජාත්‍යන්තර තරුණ සංගමය සහ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නීතිඥ සංගමය ඇතුළු නීති වෘත්තියට අදාළ ගෝලීය සංවිධාන වෙත යොමු කර ඇත. තවද, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, හියුමන් රයිට්ස් වොච්, මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය, වධහිංසාවට එරෙහි ලෝක සංවිධානය, පෙරටුගාමී ආරක්ෂකයන්, මානව හිමිකම් සඳහා මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරන්නන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන ගණනාවකට ද මෙය පිටපත් කර තිබේ.
අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇති ප්‍රධාන කරුණක් වන්නේ, මේ වන විට නවීන පන්නයේ ගිනිඅවි භාවිත කරමින් රට පුරා බිහිසුණු වෙඩි තැබීම් සහ ඝාතන රටාවක් නිර්මාණය වී ඇති බවයි. මෙම තත්ත්වය යටතේ පසුගිය වසර තුළ පමණක් පුද්ගලයින් හැටකට අධික සංඛ්‍යාවකට සිය ජීවිත අහිමි වී ඇති අතර, ගතවූ කෙටි කාලසීමාව තුළ දී මේ වසරේ ද පුද්ගල ඝාතන නවයක් වාර්තා වී ඇති බව එමගින් අවධාරණය කර ඇත. පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ මූලික වගකීම පැවරී ඇති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍යවරයා එම වගකීම නිසි පරිදි ඉටු කිරීමට සම්පූර්ණයෙන්ම අපොහොසත් වී ඇති බව ද විපක්ෂ නායකයින් සිය ලිපිය හරහා ජාත්‍යන්තරයට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

