පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව දැනට මතුව ඇති නීතිමය ගැටලු සහ ඊට එල්ල වී ඇති බාධාවන් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන්ව කැඳවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රථම වරට රැස්වූ, පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව කරුණු සොයා බලන විශේෂ කාරක සභාවේදීය.
පළාත් සභා මැතිවරණය කිනම් ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න අධ්‍යයනය කර ඒ පිළිබඳව අවශ්‍ය නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාරක සභාව වෙත පවරා ඇති ප්‍රධාන වගකීම වෙයි.මෙහිදී අදහස් දක්වමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ, 2017 අංක 17 දරන පනතින් හඳුන්වා දුන් මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කටයුතු මෙතෙක් අවසන්ව නොමැති වීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවන් නිර්මාණය වී ඇති බවයි. මේ අතර, විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහිදී අවධාරණය කළේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර රාශියක් පාලනය වන පළාත් සභා ආයතන වසර නවයකට ආසන්න කාලයක් අක්‍රියව පැවතීමෙන් ගැටලු රැසක් උද්ගත වී ඇති බවයි. එබැවින් දැනට පවතින පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ හෝ කඩිනමින් මැතිවරණය පවත්වා, ඉන් අනතුරුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස එම මන්ත්‍රීවරුන් විසින් එහිදී යෝජනා කරන ලදී.
මෙම මැතිවරණයේදී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම මෙන්ම තරුණ නියෝජනයද තහවුරු කෙරෙන නව ඡන්ද ක්‍රමයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව පුළුල් කතිකාවතක් නිර්මාණය විය යුතු බව කාරක සභා සභාපති අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ අනුව, මීළඟට පැවැත්වෙන කාරක සභා රැස්වීම සඳහා නීතිපතිවරයා ඇතුළු මැතිවරණ කොමිසමේ නිලධාරීන් කැඳවා දැනට පවතින නීතිමය අවහිරතා සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසීමට නියමිතය. මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව සිය මූලික රැස්වීම පැවැත්වූ දිනයේ සිට මාස තුනක කාලසීමාවක් ඇතුළත අදාළ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වේ.
පසුගියදා පැවැති මෙම මූලික සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වශයෙන් අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල සහ මුනීර් මුලාෆර් යන මහත්වරුන් එක්ව සිටියහ. ඊට අමතරව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, පානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ සහ ලක්ෂ්මන් නිපුණආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

