අතුරුගිරිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරුදායක අයුරින් එක් රෝදයකින් ධාවනය කිරීමට යාමේදී සිදුවූ දරුණු රිය අනතුරකින් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අතුරුගිරිය, පෝරේ, බක්මීගහ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අහංගම වෙදගේ දෙනෙත් විදුෂණ නමැති දහහතර හැවිරිදි සිසුවා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත.
මෙම සිදුවීමෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා ද බරපතළ තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව අතුරුගිරිය පොලිසිය තහවුරු කරයි.පොලිස් විමර්ශනවලට අනුව මෙම අනතුර සිදුව ඇත්තේ මියගිය සිසුවා සිය මිතුරෙකු විසින් පදවන ලද යතුරුපැදියක පිටුපස අසුනේ ගමන් කරමින් සිටියදීය. එහිදී යතුරුපැදිකරු විසින් මාර්ගය මත අධික වේගයෙන් යතුරුපැදියේ ඉදිරිපස රෝදය ඉහළට ඔසවා පසුපස රෝදයෙන් පමණක් ගමන් කිරීමට උත්සාහ කර ඇත. එම අනාරක්ෂිත ධාවනය හේතුවෙන් වේගය පාලනය කරගැනීමට නොහැකි වී ඇති යතුරුපැදිය, මාර්ගයෙන් ඉවතට පැන විරුද්ධ මංතීරුවේ නවතා තිබූ ලොරි රථයක මුහුණට මුහුණලා ගැටී ඇත.
මෙම ප්‍රබල ගැටුම හේතුවෙන් යතුරුපැදිය කොටස් දෙකකට වෙන් වී ඇති බවත්, එහි ගමන් ගත් දෙදෙනාම මහමගට විසි වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. අනතුරුව ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. එහෙත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව පසුපැදිකරු ලෙස ගමන් කළ පාසල් සිසුවා මියගොස් ඇති අතර, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණි.
අනතුර සිදු වූ ස්ථානය වෙත පැමිණි හෝමාගම හදිසි මරණ පරීක්ෂක සහ සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් මූලික ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලදී. ඉන් අනතුරුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. එස්. දිනෙත් මහතා වෙත යොමු කෙරිණි. හදිසි මරණ පරීක්ෂණයේදී සහ වෛද්‍ය වාර්තාවලට අනුව අනාවරණය වී ඇත්තේ, ලොරි රථයේ සහ යතුරුපැදියේ ගැටීමෙන් හිසට එල්ල වූ ප්‍රබල මොටබල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල් කපිල (35728) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

