is-it-successful-to-open-branches-of-british-universities-in-india

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල ගණනාවක් මේ වන විට ඉන්දියාව තුළ සිය ශාඛා ස්ථාපිත කරමින් සිටින අතර, යෝර්ක් (York) සහ සවුත්හැම්ප්ටන් (Southampton) යන විශ්වවිද්‍යාල එහි පෙරමුණ ගෙන ඇත. විශේෂයෙන්ම මිලියන 20කට අධික ජනගහනයක් වෙසෙන මුම්බායි නගරයේ පෝවායි වැව ආශ්‍රිතව යෝර්ක් විශ්වවිද්‍යාලයේ නවතම ශාඛාවේ අවසන් කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර, සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය දැනටමත් දිල්ලි නුවර සිය ශාඛාවක් විවෘත කර තිබේ.

යෝර්ක් විශ්වවිද්‍යාලය 2026-27 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කර ඇති අතර, පළමු වසරේදී සිසුන් 270ක් පමණක් බඳවා ගෙන ඉදිරි වසර කිහිපය තුළ එම සංඛ්‍යාව 3,000 ත් 4,000 ත් අතර අගයක් දක්වා වර්ධනය කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.




විදේශීය විශ්වවිද්‍යාල සඳහා ඉන්දියාව තුළ දොරටු විවර වූයේ 2020 වසරේදී හඳුන්වා දුන් ඉන්දියානු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හරහා වන අතර, ඊට අදාළ නීතිමය රාමුව 2023 වසරේදී ප්‍රකාශයට පත් කෙරිණි. පසුගිය වසරේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් මහතාගේ ඉන්දීය සංචාරයට සමගාමීව, ඇබර්ඩීන්, බ්‍රිස්ටල්, ලිවර්පූල් සහ ක්වීන්ස් වැනි තවත් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල නවයක් ඉන්දියාව තුළ සිය ශාඛා පිහිටුවීමට එකඟතාව පළ කර ඇත. මූල්‍යමය ගැටලුවලට මුහුණ දී සිටින බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට මෙන්ම, උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් අපේක්ෂා කරන ඉන්දියානු සිසුන්ටද මෙය කදිම අවස්ථාවක් ලෙස පෙනෙන්නට තිබේ.

බ්‍රිතාන්‍ය රජයේ දත්තවලට අනුව, මේ වන විට ඉන්දියාවේ විශ්වවිද්‍යාල සිසුන් මිලියන 40ක් පමණ සිටින අතර 2035 වසර වන විට තවත් අවස්ථා මිලියන 70ක් දක්වා එය වර්ධනය වනු ඇත. ඉන්දියාව තුළ වාර්ෂිකව සිසුන් මිලියන 11ක් සිය පාසල් අධ්‍යාපනය අවසන් කරන අතර, ඉන් මිලියන 1.5 සිට 1.7 දක්වා පිරිසක් ඉහළම අධ්‍යාපන කුසලතා දක්වති. එහෙත් ඉන්දියාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනවලට වාර්ෂිකව ඇතුළත් කරගත හැක්කේ ඉන් සිසුන් 200,000කට ආසන්න පිරිසක් පමණක් වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල සඳහා ඉන්දියාව තුළ දැවැන්ත වෙළඳපොළක් නිර්මාණය වී තිබේ.




මෙම නව විශ්වවිද්‍යාල ශාඛාවල ගාස්තු බ්‍රිතාන්‍යයේ මව් විශ්වවිද්‍යාලවල ගාස්තුවෙන් 50%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ඉන්දියානු සිසුන් බහුතරයක් විදේශ රටවලට අධ්‍යාපනය සඳහා යොමු වන්නේ ජාත්‍යන්තර රැකියා අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින් බැවින්, ඉන්දියාවේ ලබා දෙන බ්‍රිතාන්‍ය උපාධියක් ඔවුන්ගේ එම අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම ඉටු කරනු ඇත්දැයි යන්න ගැටලුවකි. එනමුත්, බ්‍රිතාන්‍යයේ දැඩි වීසා නීති හමුවේ, අඩු පිරිවැයකින් සහ වීසා අවදානමකින් තොරව ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් අපේක්ෂා කරන ඉහළ මධ්‍යම පාන්තික සිසුන් සඳහා මෙය කදිම විකල්පයක් වනු ඇත.

මෙම ව්‍යාපෘතිවල සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ඉන්දියාවේ පවතින නියාමන අභියෝග සහ යටිතල පහසුකම් ගැටලු ජයගැනීම මතය. නව විශ්වවිද්‍යාල සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට අක්කර 30,000ක පමණ භූමි ප්‍රමාණයක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 100ක පමණ දැවැන්ත ආයෝජනයක් අවශ්‍ය බව දේපළ වෙළඳාම් පිළිබඳ උපදේශන සමාගමක් වන ඇනරොක් පෙන්වා දෙයි. මේ හේතුවෙන් බොහෝ විදේශීය විශ්වවිද්‍යාල ස්ථිර ගොඩනැගිලි ඉදිකරනවාට වඩා දැනට පවතින ගොඩනැගිලි කුලියට ගැනීමේ ක්‍රමවේදයන්ට යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.



පසුගිය වසරේදී බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 43ක් උපයා ගත් අතර ඉන් ජාත්‍යන්තර ශාඛා හරහා ලැබී ඇත්තේ ඩොලර් බිලියන 1.34ක් වැනි සුළු ප්‍රමාණයකි. ඉන්දියාවේ මෙම නව පුළුල් කිරීම් හරහා බ්‍රිතාන්‍ය ආර්ථිකයට ඩොලර් මිලියන 67ක පමණ වර්ධනයක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන නමුත්, එය 2024 වසරේදී ඉන්දියානු සිසුන් බ්‍රිතාන්‍යයට පැමිණ අධ්‍යාපනය ලැබීමෙන් එරට ආර්ථිකයට ලබා දුන් ඩොලර් බිලියන 5.3ක දැවැන්ත දායකත්වය හා සසඳන කල ඉතා කුඩා අගයක් ගනී.

is-it-successful-to-open-branches-of-british-universities-in-india

is-it-successful-to-open-branches-of-british-universities-in-india

is-it-successful-to-open-branches-of-british-universities-in-india