the-future-of-irans-remaining-leaders-and-regime-where-not-everyone-can-vote

පසුගිය සෙනසුරාදා ඉරානයට එල්ල වූ දැවැන්ත ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් එරට 86 හැවිරිදි උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි මෙන්ම ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ සහ යුද හමුදා ප්‍රධානී ජෙනරාල් අබ්දොල් රහීම් මූසවි ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබේ. 1979 වසරේ සිට රට පාලනය කරන ඉස්ලාමීය නායකත්වයට එරෙහිව නැගී සිටිමින් තම ඉරණම තමන් අතට ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී ඉරාන ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

1989 දී රුහොල්ලා ඛොමේනිගේ අභාවයෙන් පසු ඉරානයේ උත්තරීතර නායකයා බවට පත් වූ අලි ඛමේනි, එරට සන්නද්ධ හමුදා ප්‍රධානියා මෙන්ම සියලු ප්‍රතිපත්ති සහ ආගමික කටයුතු පිළිබඳ අවසන් තීරකයා ලෙස කටයුතු කළේය. ඔහුගේ අභාවයත් සමඟ ඇති වූ හිඩැස පිරවීම සඳහා, විප්ලවීය ආරක්ෂක බලකාය සමඟ සමීප සබඳතා පවත්වන ඔහුගේ දෙවන වැඩිමහල් පුත්‍රයා මෙන්ම මධ්‍යම මට්ටමේ පූජකයෙකු වන මොජ්තාබා ඛමේනි මීළඟ උත්තරීතර නායකයා ලෙස පත්වනු ඇතැයි රාවයක් පැතිරෙමින් පවතී.




ඉරානයේ දේශපාලන ව්‍යුහය යනු තෝරාපත් කරගන්නා ලද සහ පත් කරන ලද ආයතනවල සම්මිශ්‍රණයකින් සමන්විත වූ ඉස්ලාමීය ජනරජයකි. වත්මන් රජයේ ප්‍රධානියා ලෙස 2024 ජූලි 28 වන දින වැඩ භාරගත් ප්‍රතිසංස්කරණවාදියෙකු සහ හිටපු හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු වන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් කටයුතු කරන අතර, ඔහුට සහාය වීම සඳහා පළමු උප ජනාධිපති මොහොමඩ් රේසා අරෙෆ් කටයුතු කරයි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන්නේ වසර හතරක ධුර කාලයක් සඳහා වන අතර, පළමු වටයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් පෙරමුණ ගන්නා අපේක්ෂකයින් දෙදෙනා අතර දෙවන වටයේ ඡන්ද විමසීමක් සිදු කෙරේ. විදේශ කටයුතු මෙහෙයවනු ලබන්නේ 2015 න්‍යෂ්ටික ගිවිසුමේ ප්‍රධාන සාකච්ඡාකරුවෙකු වූ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි විසිනි. රටේ නීති සම්පාදන ක්‍රියාවලිය සාමාජිකයින් 290 කින් සමන්විත ඉස්ලාමීය උපදේශන සභාව හෙවත් පාර්ලිමේන්තුව මගින් සිදු කෙරෙන අතර, එහි කථානායකවරයා ලෙස ගතානුගතික දේශපාලනඥයෙකු වන මොහොමඩ් බාගර් කාලිබාෆ් 2025 මැයි 27 දින යළිත් තේරී පත් විය. අධිකරණ පද්ධතිය මෙහෙයවනු ලබන්නේ දැඩි මතධාරී අගවිනිසුරු ගොලාම් හොසේන් මොහ්සෙනි එජෙහි විසිනි. කෙසේ වෙතත්, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී අලි ලාරිජානි (රාජ්‍ය ප්‍රතිපත්ති), අලි අක්බර් වෙලායාටි (ජාත්‍යන්තර කටයුතු), කමල් කාරසි (විදේශ ප්‍රතිපත්ති) යන උපදේශකයින් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී මොහොමඩ් ගොල්පායේගානි වැනි ඛමේනිගේ සමීපතමයින් විසින් විශාල බලපෑමක් සිදු කරනු ලැබිණි.

ඉරානයේ මැතිවරණ සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය දැඩි ලෙස පාලනය කරනු ලබන්නේ භාරකාර මණ්ඩලය (Guardian Council) නම් වූ ප්‍රබල යාන්ත්‍රණයක් මගිනි. උත්තරීතර නායකයා විසින් පත් කරන ලද පූජකවරුන් 6 දෙනෙකු සහ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද නීති විශාරදයින් 6 දෙනෙකු ඇතුළුව සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම මණ්ඩලයේ ලේකම්වරයා ලෙස අහමඩ් ජන්නාටි කටයුතු කරයි. ටෙහෙරාන් සිකුරාදා යාඥා නායක අහමඩ් ඛාතමි වැනි දැඩි මතධාරීන්ද මීට ඇතුළත් ය. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් පාලන ආයතන සහ විශේෂඥ මණ්ඩලය සඳහා තරඟ කරන සියලුම අපේක්ෂකයින්ගේ සුදුසුකම් පරීක්ෂා කර අනුමත කිරීම මෙන්ම, ඉස්ලාමීය නීතියට හෝ ව්‍යවස්ථාවට පටහැනි පාර්ලිමේන්තු පනත් නිෂේධනය කිරීමේ බලයද මෙම මණ්ඩලය සතු වේ. මෙහිදී බොහෝ ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂකයින් නුසුදුස්සන් බවට පත් කරන බැවින් ඉරාන මැතිවරණ සම්පූර්ණයෙන්ම නිදහස් හා සාධාරණ නොවන බවට චෝදනා එල්ල වන අතර, මෑතකදී ජනාධිපති රයිසිගේ මරණයෙන් පසු පැවති 2024 මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉතා පහළ මට්ටමක පැවතීමටද මෙය හේතු විය.




අලි ඛමේනිගේ අභාවය හේතුවෙන් නව උත්තරීතර නායකයෙකු පත් කිරීමේ භාරදූර වගකීම දැන් පැවරී ඇත්තේ මොහොමඩ්-අලි මොවාහෙඩි කර්මානි විසින් මෙහෙයවනු ලබන විශේෂඥ මණ්ඩලයටයි. ඉස්ලාමීය නීති විශාරදයින් 88 දෙනෙකුගෙන් සමන්විත මෙම ආයතනය වතිකානුවේ කාදිනල් මණ්ඩලයට සමාන වන අතර, එහි සාමාජිකයින් වසර අටක ධුර කාලයක් සඳහා ජනතාව විසින් සෘජුවම තෝරා පත් කර ගනු ලැබුවද, ඔවුන්ද තරඟ කිරීමට පෙර භාරකාර මණ්ඩලයේ දැඩි පරීක්ෂාවකට ලක් විය යුතුය. රටේ සියලුම මැතිවරණවල මෙහෙයුම් සහ පරිපාලන කටයුතු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වේ.

ඉරානයේ දේශීය පාලනය, සම්පත් බෙදා හැරීම සහ මධ්‍යම රජයේ නියෝජනය තහවුරු කිරීම සඳහා ප්‍රධාන මට්ටම් හතරකින් යුත් පරිපාලන ව්‍යුහයක් ක්‍රියාත්මක වේ. එහි ප්‍රාථමික පරිපාලන ඒකකය ලෙස පළාත් (Ostān) 31 ක් ක්‍රියාත්මක වන අතර, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරන ලබන ආණ්ඩුකාරවරයෙකු ඒ සෑම පළාතක්ම පාලනය කරයි. මෙම පළාත්, ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන් යටතේ පාලනය වන ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් කෝරළ (Shahrestān) 429 සිට 484 දක්වා ප්‍රමාණයකට බෙදා ඇත. එම කෝරළ නැවතත් නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ ඇතුළත් දිස්ත්‍රික්ක (Bakhsh) 1,000 කට වඩා වැඩි ගණනකට වෙන් කරනු ලබන අතර, අවසාන වශයෙන් ඒවා ග්‍රාමීය දිස්ත්‍රික්ක (Dehestān) දහස් ගණනකට සහ ස්වාධීන නගරවලට බෙදී යයි. ඉහළ මට්ටමේ පරිපාලකයින් බොහෝ විට රජය විසින් පත් කරනු ලැබුවද, ප්‍රාදේශීය මට්ටමේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා 1999 වසරේ සිට සෑම වසර හතරකට වරක්ම නගර සහ ග්‍රාමීය සභා සඳහා නියෝජිතයින් ජනතාව විසින් සෘජුවම තෝරා පත් කර ගනු ලබයි.