වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් අතිශය කණගාටුදායක පුවතක් වාර්තා වේ. සුවනාරී සායනයක් හරහා සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වීම මාස දහයකින් පමණ ප්‍රමාද වීම හේතුවෙන්, ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි විවාහක කාන්තාවකට සිය ගර්භාෂය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදුව තිබේ.
මෙම කාන්තාව විසින් අදාළ සායනික පරීක්ෂණය සිදුකරගෙන ඇත්තේ පසුගිය 2025 වසරේ අප්‍රේල් මාසයේදීය. කෙසේ වෙතත්, ගර්භාෂයේ පිළිකාමය තත්ත්වයක් පවතින බවට සැකකෙරෙන රෝග ලක්ෂණ සටහන්ව තිබූ අදාළ වෛද්‍ය වාර්තාව ඇය අතට පත්ව ඇත්තේ 2026 පෙබරවාරි මාසයේදී වීම මෙහි ඇති බරපතළම කරුණයි. මෙම ප්‍රමාදය හේතුවෙන් රෝගී තත්ත්වය උත්සන්න වී ඇති අතර, වාර්තාව ලැබීමෙන් පසු වහාම ක්‍රියාත්මක වී විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු වීමෙන් අනතුරුව එළඹෙන මැයි මාසයේදී වහාම ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම සිදුකළ යුතු බවට වෛද්‍ය නිර්දේශ ලැබී ඇත.
සිය බිරිඳ මුහුණ දී ඇති මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ඇයගේ ස්වාමිපුරුෂයා ප්‍රකාශ කර සිටින්නේ, අදාළ පරීක්ෂණ වාර්තාව නිසි කාලයේදී ලැබුණේ නම් රෝගය කල්තියා හඳුනාගෙන මෙවැනි බරපතළ තත්ත්වයකට පත් නොවී ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබූ බවට වෛද්‍යවරුන් පැවසූ බවයි. මේ සම්බන්ධයෙන් වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ වාර්තාව නිකුත් වීම ප්‍රමාද වීමට බලපෑ හේතුව මේ වන විටත් අනාවරණය කරගෙන ඇති බවත්, ඊට අදාළ අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් පවතින බවත්ය.

