මෑතකදී සිදුවූ අතිශය ඛේදනීය රිය අනතුරකින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුමය ද්‍රව්‍ය අංශයේ සේවය කළ පර්යේෂණ සහකාරවරියක වූ මදුෂානි පතිරණ මහත්මිය අකාලයේ ජීවිතක්ෂයට පත්ව තිබේ. IESL ඉංජිනේරු විද්‍යාලයේ 2013 කණ්ඩායම නියෝජනය කළ ක්‍රියාකාරී සාමාජිකාවක ද වූ ඇය, කිසිවෙකුත් නොසිතූ මොහොතක මෙලෙස ජිවිතයෙන් සමුගැනීම හේතුවෙන් ඇයගේ පවුලේ ඥාතීන් මෙන්ම වෘත්තීය සගයන් ද දැඩි කම්පනයකට පත්ව සිටිති.
මෙම අවාසනාවන්ත වියෝවේ වඩාත් සංවේදී කරුණ වන්නේ ඇය සිය යුග දිවියට පිවිස තවමත් ගතවී ඇත්තේ සති දෙකක් වැනි ඉතා කෙටි කාලයක් වීමය. සුන්දර බලාපොරොත්තු සහිතව නව ජීවිතයක් අරඹමින් මනාලියක ලෙස හැඩගැන්වී දින කිහිපයක් ගතවීමටත් මත්තෙන් ඇයට මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇයට ආදරය කළ කිසිවෙකුත් අපේක්ෂා නොකළ කරුණකි. ඇයගේ මෙම හදිසි අභාවය පිළිබඳ පුවත මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇති අතර, එහිදී මිතුරන් ඇතුළු විශාල පිරිසක් සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.
සිය වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය ද සාර්ථකව ගොඩනගා ගනිමින් සිටි තරුණියකගේ මෙම හදිසි නික්ම යාම ඇයගේ සමීපතමයින්ට කිසිසේත්ම දරාගත නොහැකි පාඩුවක් වී ඇත. මෙවන් වූ අකල් මරණයක් මතු උපදින කිසිදු භවයකදී ඇයට අත් නොවේවා යන්නත්, ඇය වෙනුවෙන් සිදුකරන්නා වූ සියලු පුණ්‍ය කර්මයන්ගේ බලයෙන් ඇය පැතූ බෝධියකින් අමා මහ නිවන් සුවය ඇයට හිමිවේවා යන්නත් මේ මොහොතේ ඇය වෙනුවෙන් එක්රොක් වූ සියලු දෙනාගේම එකම ප්‍රාර්ථනාව වී තිබේ.

