මැදපෙරදිග ගැටුම තවදුරටත් උත්සන්න කරමින්, යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට එරෙහිව බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් නිල වශයෙන් යුද්ධයට අවතීර්ණ වී තිබේ. මෙම ප්‍රහාරවලින් බහුතරයක් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කරනු ලැබුවද, මෙම නව පාර්ශ්වයේ මැදිහත්වීම හේතුවෙන් රතු මුහුදේ සහ ගල්ෆ් කලාපයේ ජාත්‍යන්තර නාවික ගමනාගමනයට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
මේ අතර, ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම පිහිටි මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථාන, නාවික හමුදා මූලස්ථාන සහ විශ්වවිද්‍යාල ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරනු ලැබීය. මෙම තත්ත්වය හමුවේ අමෙරිකා එක්සත් ජනපදය ද තම හමුදා ශක්තිය තර කරමින් අතිරේක භටයින් 3,500ක් සහ අතිරේක යුද නෞකා කලාපයට යොදවා ඇති අතර, ඉරානයට එරෙහිව ගොඩබිම් මෙහෙයුමක් දියත් කිරීමේ සූදානමක පසුවන බවට ද තොරතුරු වාර්තා වේ.
ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් ද ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ ජෙරුසලම වැනි ප්‍රදේශ ඉලක්ක කරගනිමින් අඛණ්ඩව බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. මීට අමතරව, ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු සහ මිත්‍ර පාර්ශ්වික ඉලක්ක වෙත ද ඉරානය ප්‍රහාර එල්ල කර ඇති අතර, සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් අමෙරිකානු හමුදා සාමාජිකයින් 15 දෙනෙකු තුවාල ලබා ඉන් පස් දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන් වේ.
මෙම යුදමය තත්ත්වය මේ වන විට ලෙබනනය සහ ඉරාකය දක්වා ද ව්‍යාප්ත වී ඇති අතර, උතුරු ඉරාකයේ අර්බිල් හි පිහිටි අමෙරිකානු කොන්සියුලර් කාර්යාලය සහ ඒ අවට හමුදා කඳවුරු වෙත දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත. මාසයකට අධික කාලයක් පුරා ඇදී යන මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරානයෙන් පුද්ගල මරණ 3,461ක් වාර්තා වී ඇති අතර ඉන් 1,551ක් සිවිල් වැසියන් වේ. මීට අමතරව ලෙබනනයෙන් මරණ 1,189ක් ද, ඉරාකයෙන් 99ක් ද, ඊශ්‍රායලයෙන් සිවිල් වැසියන් 19ක් සහ සෙබළුන් 4 දෙනෙකුගේ මරණ ද මේ වන විට තහවුරු වී තිබේ.
කලාපීය තත්ත්වය සමනය කිරීමේ අරමුණින් පාකිස්තානය, සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල විදේශ අමාත්‍යවරුන් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති නමුත්, යුදමය තත්ත්වයේ අඩුවීමක් දක්නට නොලැබේ. මේ අතර, අඛණ්ඩව පවතින යුද්ධයට සහ එහි මානුෂීය ඛේදවාචකයට එරෙහිව ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර ඇතුළු නගර කිහිපයකම මෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ ද දැවැන්ත විරෝධතා මාලාවක් හටගෙන ඇති අතර, ඊශ්‍රායලයේදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ද වාර්තා වී ඇත.

