කටාන, දාගොන්න ප්‍රදේශයේ දෙමහල් නිවසක පදිංචිව සිටි 91 හැවිරිදි වියපත් කාන්තාවකගේ මුඛය රෙදිකඩකින් ගැටගසා, ඇය පැළඳ සිටි රන් කරාබු යුවළ ඇතුළු ආභරණ කොල්ලකා රුපියල් 45,000ක මුදලකට උකස් කළ බව කියන අඹුසැමි යුවළක් කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් විසින් එම මුදලින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන පානය කර ඇති බවට අනාවරණය වී ඇති අතර, සැකකරුවන් පසුගිය 26 වනදා මීගමුව දිසා මහ රෝහල ආසන්නයේදී නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.
මෙම අපරාධය සිදුකර ඇති සැකකරු අදාළ වයෝවෘද්ධ කාන්තාව පදිංචිව සිටින නිවසට පැමිණ ඇත්තේ වත්තේ පොල් කැඩීමට අවශ්‍ය දැයි විමසමිනි. එසේ කඩන පොල් ඇහිලීම සඳහා සිය බිරිඳ ද කැඳවාගෙන ආ බව ඔහු විසින් පවසා තිබේ. අනතුරුව පොල් කැඩීම සඳහා නිවැසි කාන්තාවගේ අවසරය ලැබීමෙන් පසු ඇය වත්ත පහළට ගිය අවස්ථාවේදී, මෙම යුවළ එක්ව ඇයව ග්‍රහණයට ගෙන කෑගැසීමට නොහැකි වන සේ මුඛය රෙදිකඩකින් ගැටගසා බිමට ඇද දමා ඇත. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් දැඩි කම්පනයට පත් කාන්තාව එම අවස්ථාවේම සිහිසුන් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරුව සිහිසුන්ව බිම වැටී සිටි කාන්තාවගේ රන් ආභරණ ගලවාගෙන මෙම යුවළ එම ස්ථානයෙන් පලාගොස් තිබේ. මේ අතරතුර නිවසේ උඩුමහලේ රැඳී සිටි මිණිබිරියක් තම මිත්තණිය නිවසේ පහළ මාලයේ පෙනෙන්නට නොමැති වීම හේතුවෙන් ඒ පිළිබඳව විපරම් කර බලා ඇත. එහිදී වත්ත පහළ සිහිසුන්ව වැටී සිටි මිත්තණියව දුටු ඇය, අසල්වාසීන්ගේ ද සහාය ඇතිව වහාම ඇයව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. අදාළ කාන්තාව මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ කොල්ලකන ලද ආභරණ රුපියල් හතළිස් පන්දහසක මුදලකට උකස් කර මත්ද්‍රව්‍ය මිලදී ගෙන භාවිත කර ඇති බවයි. පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දෙදෙනාගෙන් සැමියා 27 හැවිරිදි වියේ පසුවන අතර බිරිඳ 25 හැවිරිදි වියේ පසුවන්නියකි. මොවුන් දෙදෙනාම වසර ගණනාවක පටන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවද පොලිස් විමර්ශනවලදී තවදුරටත් තහවුරු වී තිබේ.
කටාන පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ උපදෙස් මත මෙම විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයෝෂ් පෙරේරා, උප පොලිස් පරීක්ෂක සේනාරත්න, පොලිස් සැරයන් දුලිප් (38852), මෙන්ම පොලිස් කොස්තාපල්වරුන් වන මෙන්ඩිස් (82073), වික්‍රමසිංහ (84115) සහ නිශාන් (101536) යන මහත්වරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පවත්වති.

