why-did-the-teachers-of-tangalle-turn-their-backs-on-harini-ask-the-reasons

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 15 වැනිදා තංගල්ල නගර ශාලාවේදී පැවති විශේෂ රැස්වීමට සහභාගී නොවූ ගුරුවරුන් සම්බන්ධයෙන් කරුණු දක්වා වාර්තා ලබාදෙන ලෙස තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් කලාපයේ සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.




කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. එස්. ඩී. කල්‍යාණි මහත්මිය විසින් සඳුදා (23) දිනයේ නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් මෙම දැනුම්දීම සිදුකර ඇත. තංගල්ල අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් වෙනුවෙන් අදාළ රැස්වීම සංවිධානය කර තිබූ බවත්, ඊට සහභාගී වන පිරිසගේ විස්තර කලාප කාර්යාලය විසින් මීට පෙර අවස්ථාවකදී ද ඉල්ලා තිබූ බවත් එම නිවේදනය මගින් විදුහල්පතිවරුන් වෙත සිහිපත් කර දී තිබේ.

ඒ අනුව, අදාළ රැස්වීම සඳහා තම පාසල් නියෝජනය කරමින් සහභාගී නොවූ ගුරුවරුන්ගේ නොපැමිණීමට බලපෑ හේතු පැහැදිලි කරමින්, හෙට (මාර්තු 26) දිනට පෙර එම තොරතුරු කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම විදුහල්පතිවරුන් වෙත පවරා ඇති රාජකාරියකි.




මෙම තොරතුරු නිල අවශ්‍යතාවක් සඳහා කඩිනමින් අවශ්‍ය වී ඇති බැවින්, අදාළ වාර්තා කිසිදු ප්‍රමාදයකින් තොරව එවිය යුතු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය අදාළ චක්‍රලේඛය හරහා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

why-did-the-teachers-of-tangalle-turn-their-backs-on-harini-ask-the-reasons