ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන
මහතා විසින් එයාර් බස් ගනුදෙනුව හරහා අල්ලස් ලෙස ලබාගත් මුදල් හිටපු
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර
ජයරත්න මහතාට ලබා දී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය.
මෙය නීත්‍යානුකූල සාක්ෂි මත හෙළි කරත් දේශපාලනික වශයෙන් අවාසි නිසා 'මහින්ද කඳවුර' හඳුන්වන්නේ බලෙන් ගත් ප්‍රකාශයක් ලෙසය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් මෙසේ කියයි.
"කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සිටියදී, දිවා ආහාරය සඳහා කටඋත්තර ගැනීමේ ක්‍රියාමාර්ගය නතර කර තිබෙනවා.
ඒ අවස්ථාවේදී ඔහු සමඟ සිටි නීතිඥවරයා දිවා ආහාරය ගැනීම සඳහා පිටව ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී සැකකාර කපිල චන්ද්‍රසේන මහතාව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා හමුවට රැගෙන ගොස් තිබෙනවා.
මෙම සැකකරුව ඔහුගේ කාමරයට රැගෙන ගොස්, ඔහු පවසන දේශපාලඥයින්ගේ නම් අදාළ ප්‍රකාශයට ඇතුළත් කරන ලෙසට එහිදී තර්ජනය කර තිබෙනවා.
මීට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා.
ඇත්තටම ඒ අවස්ථාවේදී මේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අරසුකුලරත්න මහතා අධිකරණයට කරුණු ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ප්‍රකාශය සහ නම් ලබාගෙන තිබෙන්නේ, සැකකරුව අධ්‍යක්ෂ ජනරාල්වරයා ළඟට රැගෙන ගොස් ඔහු විසින් තර්ජනය කර, එම තර්ජනය කිරීම මත බලහත්කාරයෙන් ප්‍රකාශයකට ඔහුගේ අත්සන ලබාගැනීමෙන් බවට ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වූ දිවුරුම් ප්‍රකාශයක් අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මේ කාරණය සම්පූර්ණයෙන්ම නීතියේ ආධිපත්‍යය අවභාවිතයේ යෙදවීමක් හැටියටයි අපි දකින්නේ.
රංග දිසානායක මහතා මෙහි අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් වූ අවස්ථාවේ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක මහතා ප්‍රකාශ කළේ, රංග දිසානායක යනු ජනතා විමුක්ති පෙරමුණට වැඩ කළ පුද්ගලයෙක් මිස ස්වාධීන පුද්ගලයෙක් නොවන බවයි.
ඒ අවස්ථාවේදී නන්දන ගුණතිලක මහතාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් බව අපි දැක්කා. නමුත් අභිරහස් ආකාරයෙන් නන්දන ගුණතිලක මහතා මරණයට පත් වූ ආකාරයත් අපි දැක්කා.
මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව චෝදනා තිබෙනවා නම්, නිසි පරිදි එම චෝදනා ඉදිරිපත් කළ යුතුයි.
මේ අයුරින් සාක්ෂිකරුවන්ට බොරු කරමින්, මරණ තර්ජන කරමින් සහ බලෙන් සාක්ෂිකරුවන්ගෙන් අත්සන් ලබාගෙන එතුමාගේ චරිතය ඝාතනය කරන්නටත්, එතුමාට වැරදි ආකාරයට නීතිය ඉදිරියේ දඬුවම් ලබා දෙන්නටත් කටයුතු කරනවා නම් එය ඉතාම වැරදි කාරණයක්."

