මින්නේරිය වැවේ සිට කවුඩුල්ල වැව වෙත ජලය ගෙන යන රත්මලේ ප්‍රදේශයේ පිහිටි වාන් ඇළක තිබී පනස් පස් හැවිරිදි තිදරු මවකගේ මළසිරුරක් ඊයේ (30) උදෑසන සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය, මහරත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක බවට හඳුනාගෙන ඇති අතර, ඇය දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
මෙම කාන්තාව පෙරේදා උදෑසන දිය නෑමට යන බව පවසමින් සිය නිවසින් පිටව ගොස් ඇත. දිගු වේලාවක් ගතවන තුරුත් ඇය යළි නිවසට නොපැමිණීම හේතුවෙන් කලබලයට පත් නිවැසියන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඇය දිය නෑමට ගිය බව කියන වාන් ඇළ අවට දැඩි සෝදිසියක් සිදු කර තිබේ. එහෙත් පෙරේදා සවස් වන තුරුම ඇය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී නැත.
කෙසේ වෙතත්, ඊයේ උදෑසන රත්මලේ ප්‍රදේශයේ ගොවියෙකු සිය වගාවට ජල මෝටරයක් ආධාරයෙන් ජලය ලබාගැනීම සඳහා මෙම වාන් ඇළට බැස ඇති අවස්ථාවේදී එහි ගසක් අසල පාවෙමින් තිබූ අදාළ මළසිරුර දැක ඇත. අනතුරුව ඔහු විසින් ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට සහ මින්නේරිය පොලීසියට දැනුම් දී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මින්නේරිය පොලීසියේ ජීවිතාරක්ෂක නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව අදාළ මළසිරුර ගොඩගැනීමට කටයුතු කර ඇත.
මෙම සිදුවීම දියේ ගිලීමකින් වූ මරණයක් බවට දැනට අනුමාන කෙරෙන අතර, නිශ්චිත හේතුව තහවුරු කරගැනීම උදෙසා මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පිටිගල මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් හේරත් මහතා විසින් සිදු කරනු ලබයි.

