
හෙට (01) දින සිට ක්‍රියාත්මක වීමට නියමිත විදුලි ගාස්තු ඉහළ නැංවීමට සමගාමීව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල ගණන් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන ඇත. ඒ අනුව පාරිභෝගිකයින් බහුලව මිලදී ගන්නා ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30 කින් ඉහළ යනු ඇත.
මෙම මිල සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කළේ ප්‍රධාන ආහාර වේල්වලට අමතරව අනෙකුත් අයිතමයන්හි ද මිල වැඩි කිරීමට සිදුවන බවයි. ඒ යටතේ සියලුම කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10 කින් ඉහළ නංවා ඇති අතර, ප්ලේන්ටියක් සහ කිරි තේ කෝප්පයක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.
අප්‍රේල් මස පළමුවැනිදා සිට විදුලි බිල ඉහළ යාම මෙම තීරණයට සෘජුවම බලපා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි. සභාපතිවරයා අවධාරණය කරන්නේ සාමාන්‍යයෙන් ආපනශාලාවක් පවත්වාගෙන යනු ලබන ඕනෑම ස්ථානයක මාසික විදුලි පරිභෝජනය ඒකක 180 සීමාව අනිවාර්යයෙන්ම ඉක්මවා යන බවයි. මෙවැනි පසුබිමක් තුළ ඉදිරියේදී පැනවෙන දැවැන්ත විදුලි බිල දරාගනිමින් ආපනශාලා කර්මාන්තය කඩා වැටීමට නොදී අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම මිල ඉහළ දැමීම සිදු කළ බව හෙතෙම වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

