කොස්ලන්ද පොලිස් වසමට අයත් නාඋල ප්‍රදේශයෙන් අතිශය කම්පන සහගත පුවතක් වාර්තා වන අතර, තම 14 හැවිරිදි බාල දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන පියෙකු පසුගිය 17 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇති පරිදි මෙම සැකකරු මීට පෙර සිය වැඩිමහල් දියණියව ද ලිංගික අපයෝජනයට ලක් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට දරුවෙකු ද ඉපිද ඇත. එම දරුවාගේ සැබෑ පියා මෙම සැකකරුම බවට ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තා ඔස්සේ මේ වන විටත් තහවුරු වී අවසන්ය.
වැඩිමහල් දියණියට කළ එම අපරාධය සම්බන්ධයෙන් මහා අධිකරණය හමුවේ නඩුවක් ද විභාග වෙමින් පවතින පසුබිමක, සැකකාර පියා විසින් මෙලෙස සිය බිරිඳ නිවසේ නොසිටි අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් 14 හැවිරිදි දෙවන දියණියට ද බරපතළ ලෙස ලිංගික අතවර සිදු කර ඇත.
තමාට මුහුණ දීමට සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ දැරිය විසින් සිය මවට කරුණු හෙළි කිරීමෙන් අනතුරුව මව විසින් පොලීසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ඔසඳ චින්තක සුබසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
අතවරයට ලක්වූ දැරිය අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට කොස්ලන්ද ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

