attacks-on-irans-mehrabad-airport---planes-catch-fire

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි මෙහ්රාබාද් ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් "පාලන තන්ත්‍රයේ යටිතල පහසුකම්" විනාශ කිරීමේ අරමුණින් නවතම දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද ඊශ්‍රායලය වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් පවතී.




ඉරානයේ කාර්යබහුලම සහ ප්‍රධානතම දේශීය ගුවන් සේවා මධ්‍යස්ථානය වන මෙහ්රාබාද් ගුවන් තොටුපළේ ගුවන් යානා ගිනිගනිමින් පවතින බවත්, විශාල ගිනි ජාලා සහ දුම් රොටු අහසට නැගෙන බවත් සිද්ධිය දුටුවන් පවසයි. මෙම ප්‍රදේශය අවට අන්තර්ජාල සබඳතා මේ වන විටත් බිඳ වැටී ඇති අතර, ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි එක්බටාන් නිවාස සංකීර්ණයේ ජනෙල් වීදුරු පවා ප්‍රබල පිපිරුම් හේතුවෙන් සුනුවිසුනු වී ගොස් ඇත. අඛණ්ඩව දෙවන දිනටත් එල්ල වන මෙම බිහිසුණු ප්‍රහාර හමුවේ දැඩි භීතියට පත් ටෙහෙරාන් නුවර වැසියන් භූගත රථගාල් තුළ රැකවරණය ලබමින් සිටින බව වාර්තා වේ.

1938 වසරේදී ඉදි කරන ලද මෙම ගුවන් තොටුපළ, ඉරාන ආරක්ෂක කර්මාන්තයට සම්බන්ධ අභ්‍යවකාශ සමාගම් කිහිපයක මූලස්ථානය ද වෙයි. ඊශ්‍රායල හමුදාව පසුගිය මාර්තු 04 වැනිදා ද මෙම පරිශ්‍රයට ප්‍රහාර එල්ල කරමින් එහි වූ ඊශ්‍රායල ගුවන් හමුදාවට තර්ජනයක් වූ ආරක්ෂක සහ හඳුනාගැනීමේ පද්ධති මෙන්ම හෙලිකොප්ටර් නිෂ්පාදන අංශය විනාශ කළ බව ප්‍රකාශ කළ අතර, පසුගිය වසරේ ජුනි මාසයේදී ඉරාන න්‍යෂ්ටික පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාරයට සමගාමීව ද ඔවුන් මෙම ස්ථානය ඉලක්ක කර තිබුණි.




මේ අතර, ඊශ්‍රායලයේ ජෙරුසලම සහ ටෙල් අවිව් නගර වෙත ඉරානය විසින් රාත්‍රී කාලයේ දියත් කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් එම ප්‍රදේශවල ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ නළා හඬ ක්‍රියාත්මක කර ඇත. වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස ඊශ්‍රායල වැසියන්ගේ ජංගම දුරකථන වෙත පණිවිඩ නිකුත් කර ඇති අතර, පැමිණි මිසයිල සහ ඩ්‍රෝන යානා බහුතරයක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව විනාශ කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

පවතින අඛණ්ඩ ගැටුම් මධ්‍යයේ ඊශ්‍රායලයේ බෝම්බ සහ මිසයිල නාශක සංචිත අවසන් වෙමින් පවතින බවට අනුමාන කෙරෙන පසුබිමක, බෝම්බ 12,000කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් ඩොලර් මිලියන 150කට (පවුම් මිලියන 112කට) අධික වටිනාකමකින් යුත් ආයුධ තොගයක් සිය මිත්‍ර පාර්ශ්වය වන ඊශ්‍රායලය වෙත කඩිනමින් අලෙවි කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.



මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය වාතාවරණය අතරතුර, සෞදි අරාබියේ දකුණුදිග 'එම්ප්ටි ක්වාටර්' කාන්තාරයේ පිහිටි දිනකට තෙල් බැරල් මිලියනයක් නිපදවන සෞදි අරම්කෝ (Aramco) සමාගමට අයත් ෂෙයිබා තෙල් නිධිය වෙත පැමිණි ඩ්‍රෝන යානා හයක් සහ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර වෙත එල්ල වූ බැලස්ටික් මිසයිලයක් සාර්ථකව විනාශ කළ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කරයි. මෙම ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර ඉරානයට එල්ල කෙරෙන ප්‍රහාර සඳහා සූදානම් වීමේ අරමුණින් පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකානු ගුවන් හමුදාව විසින් ද භාවිතයට ගෙන තිබුණි.