insurance-companies-are-the-main-reason-for-the-cancellation-of-flights-in-and-around-the-war-zone

ඉරානයට එරෙහිව ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් දියත් කර ඇති ගුවන් ප්‍රහාර මාලාව තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ගුවන් සේවා කර්මාන්තයට එහි දැඩි බලපෑමක් එල්ල වී තිබේ. කිසිදු අවසානයක් නොපෙනෙන මෙම ගැටුම හේතුවෙන් අඛණ්ඩව තුන්වන දිනයටත් ගුවන් ගමන් කටයුතු අඩාල වී ඇති අතර, ඒ හරහා සිදුවන ආදායම් අහිමිවීම් සඳහා රක්ෂණ ආවරණයක් ලබාදීමට රක්ෂණ සමාගම් බැඳී නොමැති බව රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සහ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.




මෙම තත්ත්වය ලොව පුරා ගුවන් ගමන් දහස් ගණනකට බාධා පමුණුවමින් ප්‍රධාන පෙළේ මැදපෙරදිග ගුවන් මධ්‍යස්ථාන වසා දැමීමට හේතු වී ඇති අතර, ඉන්ධන මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒ සමගම ආසියාවේ සිට නිව්යෝර්ක් දක්වා වූ සංචාරක ක්ෂේත්‍රයට අදාළ සමාගම්වල කොටස් මිල ගණන් පහත වැටී ඇති අතර, ඒ හරහා එම සමාගම්වල වෙළඳපල වටිනාකමින් ඩොලර් බිලියන ගණනක අලාභයක් සිදුවී තිබේ.

මෙවැනි යුදමය අවදානම් තත්ත්වයන් බොහෝ විට වාණිජ දේපළ රක්ෂණ ඔප්පු මගින් ආවරණය නොවන බව ජෙෆරීස් (Jefferies) ආයතනයේ විශ්ලේෂකයින් පවසයි. නාවික සහ ගුවන් රක්ෂණ මෙන් නොව, වාණිජ දේපළ සඳහා වෙනම යුද රක්ෂණාවරණයක් ලබා ගැනීම ද පහසු කටයුත්තක් නොවන බැවින්, ඩුබායි හි පාම් ජුමෙයිරා (Palm Jumeirah) වැනි සුවිශේෂී ස්ථානවලට සිදුවිය හැකි හානි පවා රක්ෂණය මගින් ආවරණය නොවීමේ අවදානමක් පවතී. ගුවන් සේවා සමාගම් සතුව සිය ගුවන් යානාවලට සහ වගකීම්වලට අදාළව යුද රක්ෂණ ආවරණ පැවතියද, ගුවන් ගමන් අඩාල වීමෙන් සිදුවන ආදායම් අලාභයන් සාමාන්‍ය ව්‍යාපාරික රක්ෂණ ප්‍රතිපත්ති යටතට ගැනෙන බැවින්, ඒවාට යුදමය තත්ත්වයන් යටතේ වන්දි හිමි නොවන බව රක්ෂණ ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග තහවුරු කරයි. කෙසේ වෙතත්, ගුවන් රක්ෂණ සමාගම් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට හුරුවී සිටින බැවින් මේ දක්වා රක්ෂණ ආවරණ අවලංගු කිරීමේ නිවේදන කිසිවක් නිකුත් කර නොමැත.




මෝර්නිංස්ටාර් ඩීබීආර්එස් (Morningstar DBRS) ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දෙන්නේ මෙම ගැටුම්කාරී තත්ත්වය නාවික, ගුවන්, දේපළ, සංචාරක සහ සැපයුම් දාම රක්ෂණ අංශ සඳහා සැලකිය යුතු අභියෝග නිර්මාණය කර ඇති බවයි. මිසයිල ප්‍රහාර හෝ ගුවන් ආරක්ෂක පද්ධති හේතුවෙන් ගුවන් යානාවලට සිදුවිය හැකි විශාල හානි සහ වන්දි ඉල්ලීම් පිළිබඳව රක්ෂණකරුවන් දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. ගල්ෆ් කලාපය තුළ ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ත්‍රස්තවාදය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය ආශ්‍රිත රක්ෂණ වෙළඳපොළ තුළ මිල ගණන් ඉහළ යාමට මෙන්ම එහි ධාරිතාවය අඩුවීමටද ඉඩ ඇත. මේ වන විටත් මැදපෙරදිග ගල්ෆ් කලාපය හරහා භාණ්ඩ නැව්ගත කිරීමේ රක්ෂණ පිරිවැය පසුගිය පැය 48 ඇතුළත පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නැව් සඳහා රක්ෂණ ආවරණ ලබාදීමෙන් බොහෝ රක්ෂණකරුවන් ඉවත්වී ඇති බව වාර්තා වේ. (රොයිටර්ස් පුවත් ඇසුරිනි)