ඇපල් සමාගම සිය 2026 මාර්තු මාසයේ නිෂ්පාදන පෙළ එළිදක්වමින් නවතම iPhone 17e ස්මාර්ට් ජංගම දුරකථනය සහ M4 චිපය සහිතව යාවත්කාලීන කරන ලද iPad Air උපාංගය නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙම නවතම උපාංග සඳහා පෙර ඇණවුම් භාරගැනීම මාර්තු 4 වනදා සිට ආරම්භ වන අතර, පාරිභෝගිකයින්ට මාර්තු 11 වනදා සිට ඒවා නිල වශයෙන් මිලදී ගැනීමේ හැකියාව හිමිවේ.
මෙහිදී වඩාත් අවධානයට ලක්ව ඇති iPhone 17e මාදිලිය, පෙර පැවති iPhone 16e මාදිලියේ සාර්ථකත්වය මත පදනම්ව දැරිය හැකි මිලකට ඉහළම තත්ත්වයේ පහසුකම් ලබා දෙන උපාංගයක් ලෙස වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඇමරිකානු ඩොලර් 599ක ආරම්භක මිලකට නිකුත් වන මෙහි මූලික ආචයන ධාරිතාව (storage) ගිගාබයිට් 256ක් දක්වා දෙගුණ කර තිබීම පාරිභෝගිකයින්ට ලැබෙන සුවිශේෂී වාසියකි. මීට අමතරව ගිගාබයිට් 512ක ධාරිතාවකින් යුත් මාදිලියක් ද හඳුන්වා දී ඇති අතර, කළු, සුදු සහ නවතම ළා රෝස (Soft Pink) යන වර්ණවලින් මෙය මිලදී ගත හැක.
මෙම ස්මාර්ට් දුරකථනය සවිබල ගන්වා ඇත්තේ නවතම A19 චිපය මගින් වන අතර, එමගින් ඇපල් ඉන්ටෙලිජන්ස් (Apple Intelligence) විශේෂාංග සඳහා පූර්ණ සහය ලබා දෙයි. අඟල් 6.1ක Super Retina XDR තිරයකින් සමන්විත මෙහි, සීරීම්වලට ඔරොත්තු දීමේ හැකියාව තෙගුණයකින් වැඩි කරන ලද මෙන්ම පරාවර්තනය අවම කරන සෙරමික් ශීල්ඩ් 2 (Ceramic Shield 2) තාක්ෂණය භාවිත කර ඇත. මීට අමතරව දෘශ්‍ය ගුණාත්මකභාවයෙන් යුත් 2x ටෙලිෆොටෝ පහසුකම සහිත මෙගාපික්සල් 48ක ෆියුෂන් කැමරා පද්ධතියක් සහ 4K Dolby Vision වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ද මෙයට ඇතුළත් කර තිබේ.
බොහෝ දෙනා බලාපොරොත්තු වූ මැග්සේෆ් (MagSafe) රැහැන් රහිත ආරෝපණ තාක්ෂණය ද මෙම උපාංගය වෙත හඳුන්වා දී ඇති අතර, දිගු බැටරි ආයු කාලයක්, USB-C සම්බන්ධතාව සහ නවතම iOS 26 මෙහෙයුම් පද්ධතියෙන් මෙය සමන්විත වේ. ඇපල් සමාගමේ නවතම C1X මොඩමය භාවිත කිරීම හරහා මින් පෙරට වඩා දෙගුණයක් වේගවත් සෙලියුලර් සම්බන්ධතාවක් ලබා දෙන අතර, හදිසි අවස්ථා සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන Emergency SOS, Roadside Assistance සහ Find My වැනි පහසුකම් ද මෙයට එක් කර ඇත. ඩොලර් 799කින් ආරම්භ වන ප්‍රධාන iPhone 17 මාදිලි පෙළට සාපේක්ෂව, ඉහළම තාක්ෂණික පිරිවිතරයන් අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා මෙය කදිම විකල්පයක් බවට පත්ව ඇත.
මෙම නිෂ්පාදන එළිදැක්වීමේදී හඳුන්වා දුන් අනෙක් ප්‍රධාන උපාංගය වන්නේ බලගතු M4 චිපය සහිත නවතම iPad Air මාදිලියයි. මෑතකදී නිකුත් වූ iPad Pro මාදිලිවල භාවිත වූ මෙම චිපය මගින් උපාංගයේ මිල වැඩි කිරීමකින් තොරව එහි කාර්යසාධනය විශාල ලෙස ඉහළ නංවා තිබේ. පෙර පැවති ආකර්ෂණීය නිමාව එලෙසින්ම පවත්වා ගනිමින් අඟල් 11 සහ 13 යන ප්‍රමාණ දෙකෙන්ම නිකුත් වන මෙම උපාංග, පිළිවෙලින් ඩොලර් 599 සහ ඩොලර් 799 යන මිල ගණන් යටතේ වෙළෙඳපොළට නිකුත් කෙරේ.
මින් පෙර නිකුත් වූ M3 iPad Air මාදිලිවලට වඩා 30%ක සහ M1 මාදිලිවලට වඩා 2.3 ගුණයක වේගවත් කාර්යසාධනයක් නව M4 චිපය හරහා ලබා දී ඇති අතර, කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරකම් සඳහා වඩාත් ප්‍රබල Neural Engine එකක් මෙන්ම ගේමිං සහ වීඩියෝ සංස්කරණ කටයුතු සඳහා දෘඩාංග මගින් වේගවත් කළ ray tracing තාක්ෂණය ද මීට ඇතුළත් වේ. බහුකාර්ය කටයුතු (multitasking) වඩාත් සුමට කිරීමේ අරමුණින් මෙහි මතකය (unified memory) ගිගාබයිට් 8 සිට 12ක් දක්වා වැඩි කර ඇති අතර එය නවතම iPadOS 26 සමග මනාව ක්‍රියාත්මක වේ.
සම්බන්ධතා පහසුකම් තවදුරටත් පුළුල් කරමින් Wi-Fi 7 සඳහා සහය දක්වන N1 චිපය, සෙලියුලර් සම්බන්ධතා සඳහා C1X මොඩමය, Bluetooth 6 සහ Thread තාක්ෂණය ද නව iPad Air වෙත හඳුන්වා දී ඇත. දවස පුරා පවතින බැටරි ආයු කාලයක් සහ Liquid Retina තිරයක් සහිත මෙම උපාංගය Apple Pencil Pro සහ Magic Keyboard සඳහා පූර්ණ සහය දක්වන අතර නිල්, දම්, Starlight සහ Space Gray යන වර්ණයන්ගෙන් පාරිභෝගිකයින්ට මිලදී ගත හැක. Pro මට්ටමේ මිලක් ගෙවීමකින් තොරව ඉහළ කාර්යසාධනයක් අපේක්ෂා කරන සිසුන්ට, නිර්මාණකරුවන්ට, ව්‍යාපාරිකයින්ට මෙන්ම ගේමර්ස්ලාට ද මෙය අතිශය යෝග්‍ය උපාංගයක් බවට පත් කර තිබේ.