ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම් කිසිසේත්ම දිගුකාලීන එකක් නොවන බවත්, එය ඉතා කෙටි කාලයකින් තීරණාත්මක ලෙස අවසන් වනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරයි. ෆොක්ස් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ඉතිහාසයේ එහි දුර්වලම තත්ත්වයට පත්ව ඇති වත්මන් ඉරාන පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා මෙම ඒකාබද්ධ ප්‍රහාර හරහා මනා පසුබිමක් නිර්මාණය වනු ඇති බවයි.
එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කරන්නේ, තම මූලික ඉලක්කය ඉරාන පාලනය පෙරළා දැමීම නොව, ඔවුන්ගෙන් එල්ල වන න්‍යෂ්ටික, නාවික සහ මිසයිල තර්ජනයන් මුළුමනින්ම අක්‍රිය කිරීම බවයි.මෙම අර්බුදයේ ආරම්භය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අනාවරණය කළේ, 'එපික් ෆියුරි' (Operation Epic Fury) නමින් ඇමරිකාව මෙම මෙහෙයුම ආරම්භ කළේ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව පූර්ව භංග ප්‍රහාරයකට සූදානම් වූ පසුබිමක බවයි. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කලාපයේ ඇති ඇමරිකානු සම්පත් ඉලක්ක කරනු ඇතැයි බුද්ධි අංශ අනතුරු අඟවා තිබූ බැවින්, ඊශ්‍රායලය විසින් ඇමරිකාව බලහත්කාරයෙන් යුද්ධයකට ඇද දැමූ බවටද විවේචන එල්ල විය. කෙසේ වෙතත්, එම චෝදනා සිනහමුසුව ප්‍රතික්ෂේප කළ නෙතන්යාහු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ඉරාන තර්ජනය මනාව අවබෝධ කරගත්, තම රටට නිවැරදි දේ පමණක් කරන ලෝකයේ සිටින ශක්තිමත්ම නායකයා බව පවසමින් ඔහුව දැඩි ලෙස වර්ණනා කිරීමට සිය සම්මුඛ සාකච්ඡාවේ වැඩි කාලයක් වෙන් කළේය. ට්‍රම්ප් ද සිය ආධාරකරුවන්ගෙන් මෙම වැඩසටහන නරඹන ලෙස කල්තියාම ඉල්ලා සිටීමද විශේෂත්වයකි.
මැදපෙරදිග කලාපය මුහුණ දෙන අර්බුදවලින් සියයට අනූ පහකටම වගකිව යුත්තේ ඉරානය බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසයයි. ඒ අනුව, වත්මන් ඉරාන පාලනය බිඳ වැටීමෙන් අනතුරුව ඊශ්‍රායලය සහ කලාපයේ සෙසු අරාබි හා මුස්ලිම් රටවල් අතර සාම ගිවිසුම් රැසක් ඇති වී, කිසිවකුත් අපේක්ෂා නොකළ අතිශය සාමකාමී යුගයක් උදාවනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.
මේ අතර, ගැටුම් ඇතිවීමට පෙර ඉරානය සමඟ පුළුල් එකඟතාවකට පැමිණීම සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් විශේෂ නියෝජිතයන් ලෙස සාකච්ඡා සඳහා යොමු කර තිබිණි. ඉරානයේ මිසයිල වැඩසටහන සහ න්‍යෂ්ටික කටයුතු මුළුමනින්ම නතර කිරීම, සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දීම නැවැත්වීම සහ මුහුදු සීමාවල නිදහස වෙනුවෙන් නාවික හමුදාව විසුරුවා හැරීම එහි ප්‍රධාන කොන්දේසි විය. එහෙත්, සාධාරණ එකඟතාවක් සඳහා වට තුනක් පුරා පැවති එම සාකච්ඡා කිසිදු සාර්ථකත්වයකින් තොරව නිමාවට පත්වූ බව විට්කොෆ් සඳහන් කරයි.
මෙම වසරේ මුල් භාගයේ පැවති එම සාකච්ඡාවලදී ඉරාන පාර්ශ්වය දැක්වූ ආකල්පය සම්බන්ධයෙන් විට්කොෆ් ෆොක්ස් පුවත් සේවයට තොරතුරු අනාවරණය කළේය. එහිදී ජාත්‍යන්තර නිරීක්ෂණ මඟහරිමින් න්‍යෂ්ටික බෝම්බ 11 ක් නිපදවීමට ප්‍රමාණවත් වන, එනම් 60% ක් දක්වා බලගැන්වූ යුරේනියම් කිලෝග්‍රෑම් 460 ක් තමන් සතුව පවතින බව ඉරාන නියෝජිතයින් අතිශය ආඩම්බරයෙන් යුතුව ප්‍රකාශ කර තිබේ. න්‍යෂ්ටික බලගැන්වීම තමන්ට අහිමි කළ නොහැකි ජාතික අයිතියක් බව ඉරානය එහිදී පැවසූ විට, ඊට ප්‍රතිචාර ලෙස විට්කොෆ් පවසා ඇත්තේ ඔවුන්ගේ එම ක්‍රියාවලිය මුළුමනින්ම නතර කර දැමීමට ඇමරිකානු ජනාධිපතිවරයාට ද අහිමි කළ නොහැකි අයිතියක් පවතින බවයි. එම මොහොතේ තමන් සහ කුෂ්නර් මුහුණ දී ඇති අභියෝගයේ බරපතළකම අවබෝධ කරගනිමින් දැඩි මවිතයට පත්වූ බවද ඔහු සිහිපත් කළේය.
පසුගිය වසරේ එල්ල කරන ලද ප්‍රහාර මගින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කර දැමූ බවත්, එබැවින් ඔවුන්ට න්‍යෂ්ටික බෝම්බ නිපදවීමේ හැකියාවක් නොමැති බවත් ඇමරිකා එක්සත් ජනපදය තරයේ ප්‍රකාශ කරයි. එහෙත් මේ සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරන විට්කොෆ් අවධාරණය කරන්නේ, යම් හෙයකින් ඉරානයට එම විනාශ වූ පහසුකම් යළිත් භාවිතයට ගැනීමේ හැකියාවක් ලැබුණහොත්, ඔවුන් සතුව දැනට පවතින ඉහළ සාන්ද්‍රණයකින් යුත් යුරේනියම් සංචිතය දින හතක් හෝ දහයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ අවියක් බවට පත් කිරීමේ බරපතළ අවදානමක් පවතින බවයි.