answers-given-by-minister-vijitha-to-the-questions-asked-in-india-about-the-iranian-ship

ඇමරිකා – ඉරාන ගැටුම මැද ඉරාන නෞකාවක් වෙනුවෙන් මුදවාගැනීමේ මෙහෙයුමක් කළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක දේශපාලනය තුළ කථාබහක් නිර්මාණයවී ඇති පසුබිමේ ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ලෝකයේම අවධානය යොමුකරවන්නට නව දිල්ලියේ පැවැති 11 වැනි රයිසීනා සංවාදයේදී (11th Raisina Dialogue) ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සමත්විය.එම අවස්ථාවේ නිවේදිකාව ඇසූ ප්‍රශ්න වලට ඇමතිවරයා ලබාදුන් පිළිතුර හා එම අවස්ථාවේ ඉන්දියාව ක්‍රියාකළ ආකාරය ගැන එරට විදේශ ඇමති  ආචාර්ය ජයශංකර් සැපයූ පිළිතුර පහත පරිදිය.




නිවේදිකාව -

 අමාත්‍ය විජිත හේරත්, ඇමරිකානු ප්‍රහාරය සහ ප්‍රධාන බලවතුන් ඔබගේ මුහුදු සීමාවට ආසන්නව හමුදා මෙහෙයුම් සිදු කරන විට ශ්‍රී ලංකාව එය දකින්නේ කෙසේද? ඔබ ආරක්ෂාව සහ ස්වෛරීභාවය කළමනාකරණය කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව සිදුවන ඇමරිකානු මෙහෙයුම ඔබ දකින්නේ කෙසේද සහ එයින් ඔබේ ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට අදහස් වන්නේ කුමක්ද?




විදේශ ඇමති විජිත හේරත් - 

මම හිතන්නේ ජාත්‍යන්තර නීති නිර්මාණය කර ඇති එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීති සම්මුතිය (UNCLOS) අපි අනුගමනය කළ යුතුයි. එහි ප්‍රධාන අවයව දෙකක් තිබෙනවා. IORA හි නිල් ආර්ථික රාමුව (blue economic framework) සහ දේශගුණික විපර්යාස පිළිබඳ උපායමාර්ගික න්‍යාය පත්‍රය ද එහි තිබෙනවා. 2025 වසරේ පැවති 24 වැනි කවුන්සිල රැස්වීමේදී අපි එම කරුණු දෙක සම්මත කරගත්තා. එමනිසා, අපට ජාත්‍යන්තර නීති නැවත ස්ථාපිත කළ හැකි නම්, රටක් ලෙස ඕනෑම අභියෝගයකට අපට මුහුණ දිය හැකියි. ශ්‍රී ලංකාව අභියෝග රැසකට මුහුණ දෙනවා වගේම අනෙකුත් සියලුම රටවල් ද අභියෝග රැසකට මුහුණ දෙනවා. ඒ නිසා අපට ජාත්‍යන්තර නීති ශක්තිමත් කිරීම සහ මෙම ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා.

නිල් ආර්ථිකය සම්බන්ධයෙන් ගත් කල එය ඉතා වැදගත් වෙනවා. ඇත්ත වශයෙන්ම නිල් ආර්ථිකය මගින් සමුද්‍රීය සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම සහ කළමනාකරණය කිරීම ප්‍රවර්ධනය කරනවා. එයයි නිල් ආර්ථිකයේ වැදගත්කම. අනෙකුත් කලාපීය රටවල් අතර අපට හොඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් තිබිය යුතුයි. නිල් ආර්ථිකයේ වැදගත්කම කුමක්ද, අප එය ආරක්ෂා කරන්නේ කෙසේද සහ ඒ අංශය දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව. එහි ව්‍යුහාත්මක පරිවර්තනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. නිල් ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. ජාත්‍යන්තර නීතිවලට අනුව ව්‍යුහාත්මක පරිවර්තනයක් තිබිය යුතුයි. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගත් කල, දේශගුණික විපර්යාස ආර්ථිකයට සෘජුවම බලපානවා, එය ආර්ථිකයේ තිරසාරභාවයට බලපානවා. විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා පැවසූ පරිදි ශ්‍රී ලංකාව මෑතකදී සුළි කුණාටුවකට මුහුණ දුන්නා.




එය හොඳ උදාහරණයක්. මෙවැනි අභියෝගයකට අපට මුහුණ දිය හැක්කේ කෙසේදැයි ඉන්පසුව අපට අවබෝධ වෙනවා. එක් රටකට තනිවම මෙවැනි අභියෝගවලට මුහුණ දෙන්න බැහැ. ඒ නිසා කලාපීය සංවිධානයක්, කලාපීය යාන්ත්‍රණයක් තිබිය යුතුමයි. අප යම් ආර්ථික අභියෝගවලට මුහුණ දෙනවා නම්, සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ගැටලුවලට මුහුණ දෙනවා නම්, අපට තනිවම ඒවාට මුහුණ දිය නොහැකියි.

එබැවින් කලාපයක් ලෙස, ගෝලීය වශයෙන් අප ඒවාට මුහුණ දිය යුතුයි. ඒ නිසා ජාත්‍යන්තර නීතිවලට අනුව, විශේෂයෙන්ම UNCLOS වලට අනුව අපගේ නිල් ආර්ථික රාමුව සහ දේශගුණික විපර්යාස පිළිබඳ උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම අපි නැවත ස්ථාපිත කළ යුතුයි. සියලුම රටවලට UNCLOS අනුගමනය කළ හැකි නම්, එවැනි තත්වයක් මතු වන්නේ නැහැ. අභියෝග රාශියකට මුහුණ දුන් රටක් ලෙස අපි සිතනවා, පිරිසිදු තත්වයක් පවත්වාගෙන යාමට සහ පරිවර්තනය ක්‍රියාත්මක කිරීමට අපි වැඩි අවධානයක් යොමු කරන බව.



අපගේ IORA හි නිල් ආර්ථික රාමුව සහ දේශගුණික විපර්යාස උපායමාර්ගික න්‍යාය පත්‍රය සක්‍රීය කිරීම සඳහා තොරතුරු ව්‍යුහය යොදාගැනීම තමයි අප ක්‍රියාත්මක කළ යුතු ක්‍රමය ලෙස අපි සිතන්නේ. ඒ වගේම අනාගතයේදී තවත් පියවර කිහිපයක් ගත යුතුව තිබෙනවා. රටක් හැටියට අපි ඉන්නේ ඒ ස්ථාවරයේ.

නිවේදිකාව -


 ඔබ මගේ ප්‍රශ්නය මඟහැරිය ආකාරය පුදුම සහගතයි, ඒ නිසා මම කෙටි... ඔව්. කෙටි පසු විපරමක් කරන්නම්. මෙය ඔව් හෝ නැහැ යනුවෙන් පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක්. ඔබ ඉරාන නිලධාරීන් නැවත ඉරානයට පිටුවහල් කිරීමට යනවාද, නැතිනම් ඔවුන්ට පලායාමට (defect) දිරිගැන්වීම සඳහා ඔවුන්ව භාරදෙන ලෙස ඔබට එක්සත් ජනපදයෙන් බලපෑම් එල්ල වී තිබෙනවාද? මැතිතුමනි.

විදේශ ඇමති විජිත හේරත් -

ඔව්. මට ඒ ආසන්න බව නැවත අවධාරණය කිරීමට අවශ්‍යයි... ඒ නිසයි මම UNCLOS ගැන නැවත අවධාරණය කරන්නේ, මන්ද අපි එම ජාත්‍යන්තර නීති අනුගමනය කරන නිසා. ඒ සිදුවීමට අදාළවත් අපි පියවර ගන්නේ එම ජාත්‍යන්තර නීති භාවිතා කරලයි. අපි එම ජාත්‍යන්තර නීති අනුගමනය කරනවා වගේම ජාත්‍යන්තර නීතිවලට අනුව තමයි අපි සියලු පියවර ගෙන තිබෙන්නේ. තවද අපි කිසිම පාර්ශ්වයකට සහාය දිය යුතු නැතැයි මා සිතනවා. අපි සියලු පියවර ගත්තේ මානුෂීය ආකාරයකටයි. එම නිසා ජාත්‍යන්තර නීතිවලට අනුව අපි පියවර ගන්නවා.

නිවේදිකාව -

මම ඒ පිළිතුර භාරගන්නවා. ආචාර්ය ජයශංකර්, නාවිකයින් 183 දෙනෙකු සමඟ ඉරාන නෞකාවක් කොචි හි නැංගුරම් ලා තිබෙනවා. ඒ වගේම ඉන්දියාව... මොකද වුණේ සහ ඉන්දියාවේ සහයෝගය සම්බන්ධයෙන් බොහෝ ප්‍රකාශයන් සහ සාකච්ඡා සිදුවී ඇති බව මම දන්නවා. නමුත් ඔබ මෙම සමස්ත සිදුවීම දකින්නේ කෙසේද? එම නැවේ ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලනිකව හෝ යුදමය වශයෙන් ඉන්දියාව වගකිව යුතු නැති බව මට වැටහෙනවා, එසේ වුවත් එය සිදු වුණේ අපේ දේශසීමාවලට, සමුද්‍රීය දේශසීමාවලට ඉතා ආසන්නයෙන්.

ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජයශංකර් -

හොඳයි, මමත් UNCLOS සහ ජාත්‍යන්තර නීතියට සහාය දෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබට කිසිම සැකයක් ඇති කරගන්න මට අවශ්‍ය නැහැ. නමුත් එසේ පැවසුවත්, බලන්න, මේකයි තත්ත්වය. මේ නැව් තිබුණා, සහ ඉරාන පාර්ශ්වයෙන් අපට පණිවිඩයක් ලැබුණා, ඒ මොහොතේ අපේ මුහුදු සීමාවට වඩාත්ම ආසන්නව තිබූ එක් නැවකට අපේ වරායට ඇතුළු වීමට අවශ්‍ය බව. ඔවුන්ට යම් යම් ගැටලු ඇති බව ඔවුන් වාර්තා කරමින් සිටියා. ඒ වගේම මගේ මතකයේ හැටියට මෙය 28 වැනිදා සිදුවුණේ, සහ 1 වැනිදා අපි කිව්වා 'හරි ඔබට එන්න පුළුවන්' කියලා. ඔවුන්ට යාත්‍රා කර පැමිණීමට දින කිහිපයක් ගත වුණා, ඉන්පසු ඔවුන් කොචි හි නැංගුරම් ලෑවා. ඒ වගේම නැව එතන තිබෙනවා, සහ පැහැදිලිවම නැවේ සිටි පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් තරුණ ශිෂ්‍ය භටයින් බවයි මගේ අවබෝධය. ඔවුන් ගොඩබැස තිබෙනවා, ඔවුන් අසල පිහිටි පහසුකම් සපයන ස්ථානයක සිටිනවා.

ඒ නිසා අපි මෙය දුටුවේ... බලන්න මේ නැව හෝ මේ නැව්, මොකද තවත් නැව් දෙකකුත් තිබුණා. මම අදහස් කළේ ඔවුන් පිටත්වෙලා මෙහි එන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ඔවුන් ආවේ නාවික හමුදා පෙළපාලියක් (fleet review) සඳහායි. ඉන්පසු ඔවුන් යම් ආකාරයකින් සිදුවීම්වල වැරදි පැත්තට කොටු වුණා. ඒ නිසා අපට, මේ නැවට ඇතුලුවීමට අවශ්‍ය වූ විට සහ ඒත් දුෂ්කරතා මධ්‍යයේ, මම හිතන්නේ එය කළ යුතු මානුෂීය දෙයයි. ඒ වගේම අපි එම ප්‍රතිපත්තිය මගින් මෙහෙයවනු ලැබුවා යැයි මා සිතනවා. අනෙකුත් නැව් ගැන සලකා බලන විට, පැහැදිලිවම එක් නැවකට ශ්‍රී ලංකාවේද එවැනිම තත්වයක් ඇති වුණා, සහ ඔවුන් ගත් තීරණය ඔවුන් ගත්තා. තවද එකකට අවාසනාවන්ත ලෙස බේරීමට හැකි වුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ... නීතිමය ගැටලු කුමක් වුවත් ඊට වඩා මානුෂීය දෘෂ්ටිකෝණයකින් තමයි අපි එයට ප්‍රවේශ වුණේ. ඒ වගේම අපි නිවැරදි දෙය කළා කියලා මම හිතනවා.

gossiplanka image