දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර මහතා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී (07) දහවල් අභාවප්‍රාප්ත විය. කලක් තිස්සේ වකුගඩු ආබාධයකින් පීඩා විඳි ඒ මහතා ජීවන ගමනින් සමුගන්නා විට පනස් එක්වැනි (51) වියේ පසු වූ අතර, ඔහු ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
සිරස රූපවාහිනී නාලිකාවේ විධායක වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හෙතෙම, එකල විකාශය වූ "පරිසරයට විනාඩියක්" නම් ජනප්‍රිය වැඩසටහන ඔස්සේ පරිසර සංරක්ෂණය පිළිබඳව ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළේය. ඉන් අනතුරුව පුවත්පත් කලාවට ද අවතීර්ණ වූ ඔහු, ලංකාදීපය ඇතුළු මාධ්‍ය වේදිකාවන් රැසක් නියෝජනය කරමින් පරිසරය, වනජීවී සහ පුරාවිද්‍යාත්මක කරුණු අළලා පාඨකයා වෙත හරවත් මෙන්ම පර්යේෂණාත්මක ලිපි සම්පාදනය කිරීමෙහි නිරත විය.
පුවත්පත් විශේෂාංග ලේඛකයෙකු සහ පාරිසරික ජනමාධ්‍යවේදියෙකු ලෙස පමණක් නොව, ඔහු දක්ෂ පාරිසරික ඡායාරූප ශිල්පියෙකු ලෙස ද සිය කුසලතා මැනවින් විදහා දැක්වීය. අභාවප්‍රාප්ත සජීව විජේවීර මහතාගේ දේහය මේ වන විට ඔහුගේ හපුගල පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස හයට දඩල්ල පොදු ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබේ.