ඉරානය විසින් ගල්ෆ් කලාපීය රටවල් ඉලක්ක කරගනිමින් දියත් කර ඇති ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාව මධ්‍යයේ කුවේට් නගරයේ පිහිටි දැවැන්ත රජයේ ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබේ. 2026 මාර්තු 8 වන ඉරිදා අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර, වාර්තා වන අන්දමට ඉරාන මරාගෙන මැරෙන ඩ්‍රෝන යානයක් ගැටීමෙන් පසු මෙම ගොඩනැගිල්ල මෙලෙස ගිනිගෙන ඇත.
සමාජ ආරක්ෂණ රාජ්‍ය ආයතන මූලස්ථානය හෝ මෙහෙයුම් කුලුනක් ලෙස සැලකෙන මෙම ගොඩනැගිල්ල ගිනිගෙන දැවෙන ආකාරය සහ නගරය පුරා සයිරන් නාද වන ආකාරය දැක්වෙන දර්ශන මේ වනවිටත් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.කුවේට් ගුවන් හමුදාව සහ ගුවන් ආරක්ෂක පද්ධති සතුරු ඉලක්ක විනාශ කිරීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව එරට හමුදාව නිල වශයෙන් නිවේදනය කර ඇත. ඩ්‍රෝන යානා අතරමගදී විනාශ කිරීමේ මෙහෙයුම්වලදී කඩා වැටුණු සුන්බුන් හේතුවෙන් සිවිල් පහසුකම් කිහිපයකට ද්‍රව්‍යමය හානි සිදුව ඇති බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු තහවුරු කර තිබේ. කුලුනේ ඇති වූ ගින්නෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති වුවද, සෙනසුරාදා සිට එල්ල වූ පුළුල් ප්‍රහාර හේතුවෙන් මේ වනවිට එක් පුද්ගලයෙකු මියගොස් විදේශිකයන් බහුතරයක් ඇතුළු තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. මේ හේතුවෙන් ආරක්ෂක සහ සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරන ලෙස කුවේට් බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම සිදුවීම් දාමය මැදපෙරදිග කලාපය තුළ ඉරානය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයන් අතර පවතින ගැටුමේ තවත් එක් ප්‍රබල ප්‍රතිඵලයක් ලෙස සැලකේ. කුවේට් රාජ්‍යයට අමතරව අලි අල් සාලෙම් ගුවන් කඳවුර වැනි ඇමෙරිකානු කඳවුරු අසල සිදුවූ පිපිරීම් මෙන්ම බහරේනය සහ ඩුබායි හි පිහිටි උස් ගොඩනැගිලි වෙත එල්ල වූ ප්‍රහාර ද මීට ඇතුළත් ය. මේ අතර, බ්‍රිතාන්‍යයේ 'HMS Prince of Wales' ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඉහළ සූදානමකින් තබා ඇති බව වාර්තා වන පසුබිමක, ජයග්‍රහණය කර අවසන් වූ යුද්ධ සඳහා මැදිහත් වීමට බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් උත්සාහ කරන බවටත් ඔවුන්ගේ ගුවන් යානා ප්‍රවාහන නෞකා තවදුරටත් අවශ්‍ය නොවන බවටත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබේ.
කලාපීය යුධ තත්ත්වය දෙවන සතියටත් එළඹෙමින් පවතින අතරතුර, ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි තෙල් ගබඩා සංකීර්ණ වෙත ද දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ. රාත්‍රිය දහවල් කාලයක් බවට පත්කළ මෙම ප්‍රහාරවලින් පසු විශාල පිපිරීම් හඬවල් ඇසුණු බවත් ඝන දුමාරයක් අහසට නැඟුණු බවත් ප්‍රදේශවාසීහු පවසති. මීට සමගාමීව, ලෙබනනයේ ක්‍රියාත්මක ඉරාන සහාය ලබන හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කරන අතර, බේරූට් නුවර දකුණු ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත. ලෙබනනයේ ඉස්ලාමීය විප්ලවීය මුරගාමී බලකායේ (IRGC) කුඩ්ස් බලකායට අයත් ප්‍රධාන අණදෙන නිලධාරීන් ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් බේරූට් මධ්‍යයේ පිහිටි හෝටලයක සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ද මියගොස් ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් වාර්තා කරයි.