the-principal-who-saved-the-student-and-saved-the-photos-of-the-female-students-in-the-class-through-ai

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය අවභාවිත කරමින් සම වයසේ පාසල් සිසුවියන් තිදෙනකුගේ ඡායාරූප නිරුවත් ඡායාරූප බවට පත් කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් බාලවයස්කාර පාසල් සිසුවාට සහ එම අපරාධය වසන් කරමින් ඊට ආධාර අනුබල දුන් බව කියන විදුහල්පතිවරයාට එරෙහිව නිකවැරටිය මහෙස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතා විසින් අධිකරණයේදී නිල වශයෙන් චෝදනා පත්‍ර කියවා භාර දෙනු ලැබීය. නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන දැරියන් තිදෙනකු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.




මෙම සිද්ධියට ප්‍රධාන සැකකරු වන පාසල් සිසුවා විසින් අදාළ දැරියන්ගේ ස්වාභාවික ඡායාරූප ලබාගෙන, ඒවා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හරහා විකෘති කරමින් නිරුවත් ඡායාරූප බවට පත් කර තම ස්මාර්ට් ජංගම දුරකථනයේ ගබඩා කරගෙන සිට ඇති බව අධිකරණයේදී අනාවරණය විය. මෙහි දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති විදුහල්පතිවරයා අදාළ සිසුවාගේ ජංගම දුරකථනය සිය භාරයට ගෙන ඇති අතර, ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමකින් තොරව සිද්ධිය සමථයකට පත් කළ බව පවසමින් මාසයකට අධික කාලයක් එම දුරකථනය නීතිවිරෝධී ලෙස තමා සන්තකයේ තබා ගෙන සිට තිබේ.

තමන්ට එරෙහිව එල්ල වී ඇති මෙම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව සැකකාර සිසුවා සහ විදුහල්පතිවරයා ඔවුන්ගේ නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්හ. නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන් දෙදෙනා, මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග මත මේ වන විට පසුවන්නේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරය. එම ඇපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවට ද අධිකරණයෙන් නියම කර තිබිණි. චෝදනා කියවා දීමෙන් අනතුරුව මෙම නඩුව ලබන මැයි මස 14 වැනිදා විභාගයට ගැනීමට තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා, එදිනට සාක්ෂිකරුවන්ට ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.




සැකකරුවන්ට එරෙහිව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 286, 351 සහ 346 යන වගන්ති යටතේ නඩු පවරා ඇත. අදාළ පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් චාමින්ද මහතා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ. පැමිණිල්ල වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ජේ.ඒ.එන්.ඩී. සුමනදාස මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ. නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාල්ලගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.