ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසර 50කට පසු එරට ඉදිවන පළමු තෙල් පිරිපහදුව පිළිබඳව පසුගිය අඟහරුවාදා නිල වශයෙන් නිවේදනය කරන ලදී. ඉන්දීය ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) සමාගමේ ආයෝජනයක් මත මෙම නව පිරිපහදුව ඉදි කෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ට්‍රෘත් සෝෂල් (Truth Social) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් මෙය ඩොලර් බිලියන 300ක ඓතිහාසික ගනුදෙනුවක් මෙන්ම ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම ගනුදෙනුව ලෙසින් ද හඳුන්වා දී ඇති අතර, මෙම සුවිශේෂී ආයෝජනය වෙනුවෙන් ඉන්දියාවේ විශාලතම පුද්ගලික බලශක්ති සමාගම වන රිලයන්ස් සමාගමට සිය කෘතවේදීත්වය ද පළ කර තිබේ.එල්.එස්.ඊ.ජී (LSEG) දත්තයන්ට අනුව ඩොලර් බිලියන 206ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියන රිලයන්ස් සමාගම, මේ වන විටත් ලොව විශාලතම තෙල් පිරිපහදුව ඉන්දියාවේ ජාම්නගර් හි පවත්වාගෙන යනු ලබයි. ටෙක්සාස් ප්‍රාන්තයේ බ්‍රවුන්ස්විල් වරාය කේන්ද්‍ර කරගනිමින් ඉදිවන මෙම නව ඇමරිකානු පිරිපහදුව හරහා එරට ජාතික ආරක්ෂාව තහවුරු වන බවත්, බලශක්ති නිෂ්පාදනය ඉහළ යන බවත් ට්‍රම්ප් පෙන්වා දෙයි. එපමණක් නොව, ඩොලර් බිලියන ගණනක ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙන මෙය ලොව පිරිසිදුම තෙල් පිරිපහදුව වනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කරයි. ඇමරිකා ෆස්ට් රිෆයිනින් (America First Refining) සමාගම විසින් සංවර්ධනය කරනු ලබන මෙම ව්‍යාපෘතිය, සියයට සියයක්ම ඇමරිකානු ශේල් (shale) තෙල් පිරිපහදු කිරීම සඳහා සැලසුම් කර තිබේ.
මෙම පිරිපහදුව ආරම්භ වන කාල වකවානුව වන විට මැදපෙරදිග කලාපය තුළ උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් මිල ගණන් ද ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධයත් සමඟ බොරතෙල් මිලෙහි දැඩි අස්ථාවරත්වයක් දක්නට ලැබුණු අතර, පසුගිය සඳුදා වන විට එය ඩොලර් 120කට ආසන්න අගයක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, ඉහළ යන ඉන්ධන මිල ගණන් ශේල් තෙල් පිරිපහදුකරුවන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරයි. මේ වන විට ඇමරිකානු බොරතෙල් බැරලයක මිල 1.15%කින් ඉහළ ගොස් ඩොලර් 84.71ක් ලෙස සටහන් වූ අතර, ගෝලීය මිණුම් දණ්ඩක් වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ද 1.33%කින් වර්ධනය වී ඩොලර් 88.98ක් ලෙස වාර්තා විය.
මෙම නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා රිලයන්ස් හෝ ඇමරිකා ෆස්ට් රිෆයිනින් සමාගම් මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැත. එහෙත්, ගෝලීය මට්ටමේ ප්‍රමුඛතම සමාගමකින් ඉලක්කම් දහයක තක්සේරුවක් යටතේ ඉලක්කම් නවයක ආයෝජනයක් තමන් වෙත ලැබුණු බව ඇමරිකා ෆස්ට් රිෆයිනින් සමාගම පසුගිය අඟහරුවාදා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ආයෝජකයින් පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය නොකළ ද, අදාළ ගෝලීය සමාගම සමඟ වසර 20ක ගිවිසුමකට එළඹ ඇති බවත්, ඒ යටතේ ඇමරිකාව තුළ නිෂ්පාදනය කරන ශේල් තෙල් මිලදී ගැනීම, පිරිපහදු කිරීම සහ බෙදාහැරීම සිදු කෙරෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම දැවැන්ත පිරිපහදුව හරහා ඩොලර් බිලියන 125ක් වටිනා ඇමරිකානු සැහැල්ලු ශේල් තෙල් බැරල් බිලියන 1.2ක් පිරිපහදු කිරීමට අපේක්ෂා කෙරෙන අතර, ඉන් ඩොලර් බිලියන 175ක වටිනාකමකින් යුත් පිරිපහදු කළ නිෂ්පාදන ගැලුම් බිලියන 50ක් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය. ඇමරිකා ෆස්ට් රිෆයිනින් සමාගමේ සභාපති ට්‍රේ ග්‍රිග්ස් (Trey Griggs) පෙන්වා දෙන පරිදි, මේ වන විට ඇමරිකාව සතුව සැහැල්ලු ශේල් තෙල් අතිරික්තයක් පැවතිය ද ඒවා සැකසීම සඳහා ප්‍රමාණවත් පිරිපහදු ධාරිතාවයක් නොමැත. එබැවින් මෙම නව පිරිපහදුව ඉදිකිරීම හරහා දේශීය සැපයුම් ජාලය තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ඔහු අවධාරණය කරයි.