පාතාල කල්ලි නායක කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීමේ සැලසුමකට සෘජුවම සම්බන්ධ වූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාතාල කල්ලිය විසින් මෙහෙයවනු ලැබූ මෙම ඝාතන සැලසුමට අදාළව මෙම සැකකාරියන් දෙදෙනා කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ඝාතන සැලසුම පිටුපස ඇත්තේ පළිගැනීමේ අරමුණක් බව පොලිසිය පවසයි. දැනට බන්ධනාගාරගතව සිටින 'ලොකු පැටී' නැමැති පාතාල නායකයාගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීමට ලොකු පැටීගේ අවශ්‍යතාව මත කංජිපානි ඉම්රාන්ගේ කල්ලිය වෙත මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබේ.
කෙසේ වෙතත්, මෙම පාතාල කල්ලිය විසින් ඉලක්කය ලෙස වරදවා වටහාගෙන ඇත්තේ මාකොළ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක කළමනාකරුවෙකි. ඒ අනුව, පසුගිය පෙබරවාරි 25 සහ 26 යන දෙදින තුළදී අදාළ මූල්‍ය ආයතන කළමනාකරු මාකොළ හන්දියේදී සිය වැගන් ආර් වර්ගයේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහුට වෙඩි තැබීම සඳහා කුලී ඝාතකයින් දෙදෙනෙකු යොදවා තිබුණද, එම අවස්ථා දෙකේදීම ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වී ඇත. පොලිසිය පෙන්වා දෙන්නේ යම් හෙයකින් එම වෙඩි තැබීම සාර්ථක වූයේ නම් මෙම පාතාල ගැටුමට කිසිදු සම්බන්ධයක් නොමැති අහිංසක පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි වීමට ඉඩ තිබූ බවයි.
මෙම සිදුවීමට අදාළ සැකකාර සහෝදරියන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇත්තේ ඉහත කී අහිංසක කළමනාකරු සේවය කරන මාකොළ පිහිටි මූල්‍ය ආයතනය තුළට වී ඔත්තු බලමින් වීඩියෝගත කිරීම් සිදුකරමින් සිටියදීය. කරන්දෙණියේ සුද්දාගේ සැබෑ මස්සිනා නිතරම මෙම මූල්‍ය ආයතනය වෙත පැමිණෙන බවට තොරතුරු ලැබී තිබීම හේතුවෙන් ඔවුන් මෙලෙස එහි පැමිණ ඔත්තු බලා ඇති බව හෙළිවී තිබේ.
සැකකාරියන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලය හා සබඳතා පවත්වන බව තහවුරු වී ඇති අතර, මත්ද්‍රව්‍ය ලබා දීමේ පොරොන්දුව මත ඔවුන් මෙම ඝාතන සැලසුමට සහාය වීමට එකඟ වී ඇත. කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ඔහුගේ සමීපතමයෙකු වන 'සංජු' නැමැත්තා විසින් මෙම සැකකාරියන් දෙදෙනා මෙහෙයවා තිබේ. අත්අඩංගුවට පත් වැඩිමහල් සහෝදරිය මීට පෙර වසර 4ක කාලයක් ඩුබායිහි රැකියාව කර ඇති අතර, එහිදී සංජු නැමැත්තා හඳුනාගෙන පසුව මෙරටට පැමිණ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට එක්වී ඇත. ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇගේ ගමන් මල්ලේ තිබී හෙරොයින් ග්‍රෑම් 16ක ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මේ වන විට අත්අඩංගුවට ගත් වැඩිමහල් සහෝදරිය රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා යොමු කර ඇති අතර, ඇගේ බාල සහෝදරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. බස්නාහිර පළාතේ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් හා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඒ. ධර්මරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.