india-shelters-an-iranian-ship-following-sri-lanka

ඇමරිකානු ප්‍රහාරයකින් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන නාවික නෞකාවක් වන 'අයිරිස් දෙනා' (IRIS Dena) ගිල්වා දැමීමෙන් හා තවත් නෞකාවක පිරිස මුදාගැනීමෙන් පසු තවත් ඉරාන නෞකාවක් සඳහා ඉන්දියාවේ කොචි වරායේ රැකවරණය ලබා දී ඇති බව ඉන්දීය රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි. ජාත්‍යන්තර නාවික හමුදා සමාලෝචනය (International Fleet Review) සඳහා මීට දින කිහිපයකට පෙර, කාර්මික දෝෂයකට ලක්ව මෙම කලාපයට පැමිණ සිටි 'අයිරිස් ලවාන්' (IRIS Lavan) නම් වූ මෙම නෞකාවට හදිසි කාර්මික දෝෂය හේතුවෙන් කොචි වරායට ඇතුළු වීමට ඉරානය විසින් ඉන්දියාවෙන් අවසර ඉල්ලා ඇත්තේ 2026 පෙබරවාරි 28 වැනිදා වන අතර ඒ යුද්ධය ඇරඹීමට පෙරාතුවය.




මෙම හදිසි ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය බලධාරීන් විසින් මාර්තු 1 වැනිදා අදාළ අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව මාර්තු 4 වැනිදා 'අයිරිස් ලවාන්' නෞකාව කොචි වරායේ ආරක්ෂිතව නැංගුරම් ලා තිබේ. නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 183 දෙනෙකුට මේ වන විට කොචි හි පිහිටි ඉන්දීය නාවික හමුදා පහසුකම් යටතේ නවාතැන් සපයා ඇති බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, මැදපෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන යුදමය වාතාවරණය මධ්‍යයේ ඉකුත් බදාදා දිනයේදී 'අයිරිස් දෙනා' නෞකාව ගිල්වා දැමීමේ සිදුවීම වාර්තා විය. නාවිකයින් 130 කට ආසන්න පිරිසක් රැගත්, ඉන්දීය නාවික හමුදාවේ ආරාධිතයෙකු ලෙස පැමිණි මෙම නෞකාවට ජාත්‍යන්තර මුහුදු තීරයේදී කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි දැඩි අප්‍රසාදය පළ කර ඇත. ඉරාන වෙරළ තීරයේ සිට සැතපුම් 2,000 ක් දුරින් සිදු කළ මෙම ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධයෙන් ඇමරිකාවට දැඩි සේ පසුතැවිලි වීමට සිදුවනු ඇතැයි ද ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් අනතුරු අඟවා තිබේ.




ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයෙන් ඉරාන ෆ්‍රිගේට් නෞකාව ගිල්වා දැමීමෙන් අනතුරුව, ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී ශ්‍රී ලංකාව විසින් ඉරාන නාවික හමුදා නෞකාවක සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 208 දෙනෙකු ආරක්ෂිතව මුදා ගැනීමට කටයුතු කර ඇත.