රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළ එම විශ්වවිද්‍යාලයේම සිසුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම පිහි ඇනුමෙන් තුවාල ලැබූ එක් සිසුවෙකු කොතලාවල රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය 16 වැනිදා ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ගොස් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියි.පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට මෙම ගැටුම හටගෙන ඇත්තේ පසුගිය 15 වැනි දින රාත්‍රියේදීය. එදින එම විශ්වවිද්‍යාලයේ සිසුන් සහ කාර්ය මණ්ඩලය අතර පැවැති වොලිබෝල් තරගයකින් පසුව රාත්‍රී කාලයේදී සංගීත ප්‍රසංගයක් ද සංවිධානය කර තිබී ඇත. මධ්‍යම රාත්‍රිය වන විට මෙම සංගීත ප්‍රසංගය අතරතුරදී කිසියම් කරුණක් මුල් කරගනිමින් සිසුන් අතර බහින්බස් වීමක් සිදුව තිබේ. එම ආරවුල දුරදිග යාමෙන් පසුව අදාළ සැකකාර සිසුවා විසින් අනෙක් සිසුන් දෙදෙනාට පිහියකින් පහර දී තුවාල සිදු කොට එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අපරාධය සිදු කර ප්‍රදේශයෙන් පළා ගොස් ඇති සැකකාර සිසුවා තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. බස්නාහිර දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මත සහ ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ගුණසේකර මහතාගේ මෙහෙයවීම යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටිති.

