පානදුර තල්පිටිය පාලම අසල දුම්රිය මාර්ගයේ ඡායාරූප ගනිමින් සිටි පිරිසක් හදිසියේ පැමිණි දුම්රියකට මුහුණදීමෙන් සිදුවූ ඛේදනීය අනතුරකින් 82 හැවිරිදි 'ඇලන්' නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පින්වත්ත පොලිසිය සඳහන් කරන පරිදි, මෙම අනතුරින් මියගිය පුද්ගලයාගේ 80 හැවිරිදි බිරිඳ, ඔවුන්ගේ 47 හැවිරිදි ශ්‍රී ලාංකික සංචාරක මඟපෙන්වන්නා සහ ඔහුගේ 10 හැවිරිදි පුත්‍රයා තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.
කළුතර දෙස සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් පැමිණෙනු දැක කලබලයට පත්ව ඒ මේ අත දිව යාමේදී මෙම පිරිස අනතුරට මුහුණ දී තිබේ.මෙම විදේශීය යුවළ වාද්දුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර, ඔවුන් අදාළ සංචාරක මඟපෙන්වන්නා සමඟ වසර විසිපහක පමණ කාලයක සිට සමීප හිතවත්කමක් පවත්වාගෙන ගොස් තිබේ. ඊයේ (09) රාත්‍රියේ මොරන්තුඩුව ප්‍රදේශයේ පිහිටි සංචාරක මඟපෙන්වන්නාගේ නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා සහභාගී වීමටද ඔවුන් සැලසුම් කර තිබී ඇත. ඊට පෙර ඊයේ පස්වරුවේ මුහුදු වෙරළේ කාලය ගතකිරීමෙන් අනතුරුව, බොල්ගොඩ ගඟේ සුන්දරත්වය කැමරාවට නඟනු වස් ඔවුන් තල්පිටිය පාලමට සමාන්තරව පිහිටි දුම්රිය මාර්ගය වෙත පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දුම්රිය හදිසියේම පැමිණෙනු දුටු අවස්ථාවේදී සංචාරක මඟපෙන්වන්නා විසින් විදේශීය කාන්තාව සහ තම පුත්‍රයාව එක් පසෙකට යොමු කරමින් ඔවුන්ව බේරාගැනීමට උත්සාහ කර ඇති නමුත්, ඔවුන්ද බොල්ගොඩ ගඟේ අතු ඔයකට ඇදවැටී අනතුරට ලක්ව ඇත. එහිදී බ්‍රිතාන්‍ය ජාතිකයාගේ හිස දුම්රියේ ගැටී පාලම යට වූ කළු ගලක් මතට විසිවී ඇති අතර, රෝහල්ගත කළ ඔහුගේ බිරිඳගේ අතකට සහ පාදයකට බරපතළ තුවාල සිදුව තිබේ. මියගිය විදේශිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) දින සිදුකිරීමට නියමිතව ඇති අතර, පින්වත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් ආසිරි මහතාගේ සෘජු උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.