
අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ මහල් 16 කින් යුත් පැරණි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සවිකර තිබූ අකුණු සන්නායක පද්ධතියේ රුපියල් ලක්ෂ 42 කට ආසන්න වටිනා තඹ කම්බි කපා සොරකම් කළ කොන්ත්‍රාත් සමාගමක සේවකයන් හයදෙනකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සදහන් කරයි.එලෙස සොරාගත් තම කම්බි තොගයෙන් කිලෝ 30 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය මගින් සොයාගෙන ඇති අතර, සොරාගෙන තිබූ තඹ කම්බි දිගින් මීටර් 288 ක් බව පැමිණිල්ලේ සඳහන්ය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ඉකුත් මස 27 වෙනි දින එම සොරකම සම්බන්ධයෙන් කොටුව පොලිසිය වෙත එම පැමිණිල්ල සිදුකර තිබිණි.පැමිණිල්ල ගැන වහාම විමර්ශන ඇරඹූ කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප. සී. පෙරේරා මහතා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කුරබගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් බැංකු පරිශ්‍රය වෙත යවා සිදුකළ මූලික විමර්ශනවලදී බැංකුවේ පැරැණි ගොඩනැගිල්ලේ පිටත තීන්ත ආලේප කිරීමට 2025 වසරේ මාර්තු මස කොන්ත්‍රාත් ලබාදී ඇති බවට අනාවරණය කර ගැනීමට සමත් වී ඇත.
ගොඩනැගිලි තුනක් පැරණි ගොඩනැගිල්ලට අයත් වන අතර අකුණු සන්නායක පද්ධතියද එම ගොඩනැගිලි තුනම ආවරණය පරිදි යොදාගෙන ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී තිබේ. සොරාගෙන තිබූ තඹ කම්බි දිගින් මීටර් 288 ක් බව පැමිණිල්ලේ සටහන් කර තිබුණි. අනතුරුව එම ගොඩනැගිල්ලෙහි පිහිටි සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී පුද්ගලයන් තිදෙනකු එක්ව අකුණු සන්නායක පද්ධතිය කපන අයුරු
සටහන්ව තිබීමෙන් අනතුරුව ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව ගොඩනැගිල්ලේ තීන්ත ආලේප සඳහා භාරගත් කොන්ත්‍රාත් සමාගමේ සේවකයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරා ගත් තඹ කම්බි කඳාන පෑලියගොඩ හා කිරුළපන ප්‍රදේශවල බඩු මිලදීගන්නා පරණ යකඩ ස්ථානවලට අඩු මුදලට විකුණා තිබියදී සොයා ගැනීමට හැකිවී ඇත.
බැංකු පරිශ්‍රයේ ත්‍රිවිධ හමුදා පොලිසියේ විශ්‍රාමික නිලධාරීන්ගෙන් යුත් 70 කට ආසන්න ආරක්ෂක නිලධාරීන් පිරිසක් සිටින අතර, පොලිස් මුර පොළද පිහිටා තිබේ. සැකකරුවන් අවස්ථා කීපයකදී අකුණු සන්නායකයේ තඹ කම්බි කපා කුඩා කොටස් වශයෙන් ශරීරයේ ඉණ තුළ සඟවාගෙන බැංකු පරිශ්‍රයෙන් පිටත රැගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල, හුණුපිටිය, මන්නාරම, කිරුළපන ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. සොරකම සම්බන්ධයෙන් කොන්ත්‍රාත් සමාගමේ තවත් සේවකයන් කීප දෙනෙක් අත්අඩංගුවට ගෙන ඉතිරි තඹ කම්බි තොගය සොයා ගැනීමට වැඩිදුර විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් පැවසීය. කොළඹ මධ්‍යම කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ, පොලිස් අධිකාරි (02) මිනුර සෙනරත් මහතාගේ උපදෙස් මත කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කූරබගේ, උප පොලිස් පරික්ෂක සංඛ සමරදිවාකර, පොලිස් කොස්තාපල්වරුන් වන (82855) චින්තක(85363) බණ්ඩාර යන නිලධාරිහු පරීක්ෂණ පවත්වති.