ජපානයේ මියේ ප්‍රාන්තයේ කමෙයාමා නගරය හරහා දිවෙන ෂින්-මෙයිෂින් අධිවේගී මාර්ගයේ සිදුවූ දරුණු රිය අනතුරකින් කුඩා දරුවන්ද ඇතුළුව පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාන්ත පොලිසිය අද (20) තහවුරු කළේය. මෙම ඛේදවාචකය සිදුවී ඇත්තේ එම අධිවේගී මාර්ගයේ පහළට ගමන් කරන දිශාවේ පිහිටි නොනොතො උමඟ (Nonoto Tunnel) තුළදීය.
වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම බහු-වාහන අනතුරට අදාළව මියගිය සියලුම දෙනා මෝටර් රථ දෙකක ගමන් කරමින් සිටි මගීන් බව මූලික විමර්ශන හරහා අනාවරණය වී තිබේ. මියගිය පිරිස අතර සිටින දරුවන්ගේ සංඛ්‍යාව සහ ඔවුන්ගේ වයස පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු ප්‍රකාශයට පත් කර නොමැත.
අනතුරට පත් වූ වාහන අතර ට්‍රක් රථ සහ තවත් මෝටර් රථ කිහිපයක් තිබූ අතර, අද පෙරවරුව වන විටත් විනාශ වූ වාහන උමඟින් පිටතට ගැනීමේ මෙහෙයුම් දැඩි පරිශ්‍රමයක් යොදා ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව ජපාන වේලාවෙන් පෙරවරු 9.35 සිට 10.14 පමණ දක්වා කාලය තුළදී මුදාගැනීමේ කණ්ඩායම් විසින් අනතුරට ලක්වූ විශාල ට්‍රක් රථ ඇතුළු සෙසු වාහන උමඟින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

