හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මිලියන 60 ක් අල්ලස් ලෙස ලබාගත් බවට අධිකරණයේදී හෙළිදරව්වූ එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්දික අනුරුද්ධ මෙසේ කියා තිබේ.
මාතෘකාව: එයාර්බස් ගනුදෙනුව මොකක්ද හේතුව?
නැහැ, මම හිතන්නේ දැන් ඒ එයාර්බස් එක පැලවත්තට කඩාගෙන වැටිලයි තියෙන්නේ.
ඒ නිසා දැන් මේගොල්ලෝ දිගින් දිගටම රාජපක්ෂවරුන්ට අපහාස කළා. හැබැයි මේ රට බේරාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ විදිහේ අපහාසාත්මක කටයුත්තක් කරයි කියලා, එයාලට ලක්ෂ 65ක ඡන්දය දුන් ජනතාව කවදාවත් හිතුවේ නැහැ.
මොකද ඒගොල්ලන්ට ලක්ෂ 65ක ඡන්දය දුන්නේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට දෙයක් කළා, මේ රට නිදහස් කරගත්තා කියලා අදටත් විශ්වාස කරන පිරිසයි.
ඉතින් ඒ නිසා ඒගොල්ලෝ නරක තැනට, වැරදි තැනටයි අත තිබ්බේ. ඒ වගේම මේ අධිකරණයට, විශේෂයෙන්ම මේ අල්ලස් කොමිසමට අතපෙවීම්, ඇඟිලි ගැසීම් අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.
ඉතින් ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා නම් හොඳයි. මොකද මෙවැනි දිවුරුම් ප්‍රකාශ මෙහෙම එන එකෙන් අල්ලස් කොමිසමේ තියෙන ස්වාධීනත්වයට ලොකු බලපෑමක් කරනවා.
ඉතින් ඒ නිසා මම හිතන්නේ, මේ වගේ දේශපාලන පත්වීම් හරහා පත්වෙලා, දැන් අපි දැක්කා නන්දන ගුණතිලක මහත්මයා මිය යන්න කලින් පැහැදිලිවම කිව්වා අද මේ අල්ලස් කොමිසමේ ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒගොල්ලන්ගේ දේශපාලන මණ්ඩලයේ සභිකයෙක් විදිහට කටයුතු කළා කියලා.
හැබැයි අද ඒක අහන්න එතුමා ජීවතුන් අතර නැහැ. ඒ වගේම ඒ ගැන පක්ෂයවත්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාවත් කිසිදු තැනක ඒක ප්‍රතික්ෂේප කළා කියලා අපි දැක්කේ නැහැ.
නන්දන ගුණතිලක මහත්මා මිය ගියාද? මිය යැව්වාද? නැත්නම් මරා දැම්මාද? කියලා අදටත් අපි දන්නේ නැහැ.
හැබැයි මේ දිවුරුම් ප්‍රකාශය ඇතුළේ තියෙනවා, කටඋත්තර ගද්දී ඒගොල්ලන්ට ඕන විදිහට හැසිරෙන්නේ නැතුව ගියාම, යම් පුද්ගලයෙක් එල්ලිලා මිය ගියා කියලා. සියදිවි නසා ගත්තා කියලා.
ඉතින් ඒ නිසා මම හිතන්නේ හැමෝම කොඳු කඩාගෙන නැහැ. මම හිතන්නේ ඒ නිලධාරියා, ඒ රාජ්‍ය සේවකයා හරි උත්තරයක් දීලා තියෙනවා.
ඉතින් මේක කඩිනමින් පරීක්ෂණයකට භාජනය කළ යුතුයි. මේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවැනි පුද්ගලයෙක් නම්, මම හිතන්නේ මේකට ගොනු කරන ඉතුරු පැමිණිලි ගැනත් අපිට දැඩි අවධානයෙන් ඉන්න වෙයි.
හැබැයි මේක වෙනුවෙන් කවුරුත් නිහඬ වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මේක බරපතළ චෝදනාවක්.
හරි නම් මේ වෙද්දී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න ඕනේ. නැත්නම් රජය ප්‍රකාශයක් කරන්න ඕනේ.
ඉතින් ඒ නිසා රජයට, එහෙම නැත්නම් ජනාධිපතිට, එහෙම නැත්නම් ඇමතිවරුන්ට ඕන විදිහට අධිකරණය හසුරුවන්න පුළුවන්, මේ ස්වාධීන ආයතන හසුරුවන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරදියි. මේ ආයතන ස්ථාපිත කරලා තියෙන්නේ ජනතාව වෙනුවෙන් ස්වාධීනව වැඩ කරන්නයි. අද ඒ බවක් නොපෙනෙන තැනට පත්වෙලා. ඊයේ සිද්ධ වෙච්ච මේ දිවුරුම් ප්‍රකාශ සිද්ධියත් එක්ක නීතියේ ආධිපත්‍යයට කළු පැල්ලමක් එක් කළා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

