a-man-who-went-to-kiss-an-elephant-was-beaten-to-death

ඕපනායක, ගල්කන්ද ප්‍රදේශයේ පාඬියාවත්ත ගම්මානයේ පදිංචිව සිටි 41 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු දම්වැල් දමා ගැටගසා සිටි අලියෙකු සිපගැනීමට යාමේදී සිදුවූ පහරදීමකින් ඉකුත් 09 වැනිදා ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.




දැව කඳන් ඇදීමේ කටයුතු සඳහා එම ප්‍රදේශයට රැගෙනවිත් සිටි පලපුරුදු හීලෑ අලියෙකු විසින් මෙම මාරාන්තික පහරදීම සිදුකර ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඕපනායක පොලිසිය තහවුරු කරයි.

අදාළ සත්වයා යකඩ දම්වැල් යොදා ආරක්ෂිතව ගැටගසා සිටි මොහොතක, මියගිය පුද්ගලයා කිසිදු අවසරයකින් තොරව අලියා ආසන්නයට ගොස් ඇත. එහිදී ඔහු සත්වයා සිපගැනීමට උත්සාහ දරා ඇති බවත්, එම අවස්ථාවේදී කෝපයට පත් අලියා ඔහුට පහර දී පාගා දමා ඇති බවත් මූලික පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබේ.




මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන අවස්ථාවේදී අදාළ පුද්ගලයා දැඩි ලෙස මත්පැන් පානය කර සිට ඇති බව වාර්තා වේ. මෙම හස්තියා මත්පැන් ගන්ධයට දැඩි ලෙස අප්‍රිය කරන සත්වයෙකු බවත්, එම කරුණ පහරදීමට ප්‍රධාන ලෙස බලපාන්නට ඇති බවත් ඇත්ගොව්වා විසින් පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වන මූලික පොලිස් පරීක්ෂණ ඕපනායක පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අමල් කීර්ති මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක උපුල් ජයශාන්ත සහ පොලිස් සැරයන් (42928) උපුල් යන නිලධාරීන් විසින් සිදුකරන ලදී. මෘතදේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පැල්මඩුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක චම්පාලි කේ. රත්නසිරිගේ මහතා විසින් සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් දේහය කහවත්ත මූලික රෝහල වෙත යොමුකර තිබේ.

a-man-who-went-to-kiss-an-elephant-was-beaten-to-death