
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට තහවුරු වූ රුපියල් මිලියන 150ක වටිනාකමකින් යුත් අතිවිශාල දේපළ තහනම් කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හරහා නීති විරෝධී ලෙස දේපළ සහ වත්කම් උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව, විමර්ශන නිලධාරීන් විසින් වයස අවුරුදු 46ක් වන අදාළ සැකකරු 2026 මාර්තු මස 25 වන දින හොරේතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, මෙම දේපළ සම්පූර්ණයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මිලදී ගෙන ඇති බවට තවදුරටත් කරුණු අනාවරණය වී ඇත. ඒ අනුව, පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පර්චස් 11ක ඉඩමක ඉදිකර ඇති රුපියල් මිලියන 50ක් වටිනා නිවසක් සහ මොරටුව ප්‍රදේශයේ පර්චස් 16ක ඉඩමක පිහිටි රුපියල් මිලියන 100ක වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් මෙලෙස තහනමට ලක් කර තිබේ. 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දින 07ක කාලයක් සඳහා අදාළ දේපළ ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරු 2026 මාර්තු මස 26 වන දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

