ඉරාන අර්බුදය මෙලෙස අඛණ්ඩව පැවතුණහොත් මෙරට වාහන මිල ගණන් මෙන්ම අනෙකුත් සියලුම භාණ්ඩවල මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.
මේ වන විටත් ජාත්‍යන්තර නෞකා ගාස්තු සහ රක්ෂණ ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, නෞකා ගමන්වාර සීමා වීම හේතුවෙන් (සාමාන්‍යයෙන් පැමිණෙන නෞකා 10ක් 5ක් දක්වා අඩුවීම වැනි තත්ත්වයන් මත) පවතින සීමිත ඉඩකඩ සඳහා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ගෙවීමට ආනයනකරුවන්ට සිදුවී ඇත. මීට අමතරව, යුදමය තත්ත්වය නිසා නිර්මාණය වී ඇති ගෝලීය ඉන්ධන අර්බුදය සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අඩුවීම ද ඉදිරියේදී වාහන වෙළඳාමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ඉරාන යුද්ධය හේතුවෙන් මෙරට වාහන ආනයනය සීමා කිරීමට මේ මොහොතේ අපේක්ෂා නොකරන බවයි. එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීම මුදල් අමාත්‍යාංශය සතු බව වාහන ආනයනකරුවෝ පවසති. මැදපෙරදිග අර්බුදය මෙරට ආනයන ක්‍රියාවලියට කෙසේ බලපානු ඇත්දැයි මේ අවස්ථාවේදී නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි බව පැවසූ මහ බැංකු අධිපතිවරයා, මෙම යුද තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.6 කින් පමණ අවප්‍රමාණය වී ඇති බවද අනාවරණය කළේය. ලෝකයේ අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක රැසක්ම මෙම ගෝලීය අර්බුදය හමුවේ කඩා වැටී ඇති බවද මහ බැංකුව එහිදී පෙන්වා දුන්නේය.

