why-does-the-price-of-gold-keep-rising-is-there-no-shortage

කොළඹ හෙට්ටි වීදිය මෙන්ම ඉන්දියාව, චීනය සහ තායිලන්තය වැනි කලාපීය රටවලද රන් මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් මේ දිනවල දක්නට ලැබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 5000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එහි බලපෑම දේශීය වෙළඳපොළටද දැඩිව එල්ල වී ඇත.

පසුගිය අඟහරුවාදා වන විට කොළඹ හෙට්ටි වීදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 394,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 364,500ක් ලෙසත් ඉහළ අගයක සටහන් විය.කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මේ සම්බන්ධව දක්වා ඇති අදහස් පහතින්




මෙම මිල ඉහළ යාම සඳහා මූලිකවම බලපා ඇත්තේ ගෝලීයව පවතින ආර්ථික සහ දේශපාලනික අවිනිශ්චිතතාවයයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් තීරු බදු වෙනස් කිරීම හරහා ඇති කළ ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කම් මෙන්ම වෙනිසියුලාව, ඉරානය සහ ග්‍රීන්ලන්තය ආශ්‍රිතව නිර්මාණය වී ඇති භූ දේශපාලනික අර්බුද මේ සඳහා සෘජුවම බලපා ඇත. මෙවැනි අස්ථාවර තත්ත්වයන් හමුවේ ආයෝජකයින් කොටස් වෙළඳපොළ වැනි අවදානම් සහිත ආයෝජනවලින් ඉවත්ව, වඩාත් ආරක්ෂිත ආයෝජන මාධ්‍යයක් ලෙස පිළිගැනෙන රත්තරන් වෙත යොමු වීම ඉල්ලුම ඉහළ යාමට ප්‍රධාන හේතුවකි.

ආයෝජකයින්ට අමතරව ලෝකයේ විවිධ රටවල මහ බැංකු විසින්ද තම විදෙස් සංචිත ලෙස ඩොලර් වෙනුවට රත්තරන් රැස් කිරීමට පෙළඹී ඇත. වාර්තා වන ආකාරයට 2025 වර්ෂයේදී පමණක් ලෝකයේ මහ බැංකු විසින් රත්තරන් ටොන් 432ක් පමණ මිලදී ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පෙන්වා දෙන පරිදි දැනට පවතින ජාත්‍යන්තර නීති රීති පද්ධතිය බිඳ වැටීම සහ ගෝලීය අවිනිශ්චිතතාවය හමුවේ රන් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පුරෝකථනය කෙරේ. ජර්මානු ඩොයිෂ් බැංකුවේ දත්ත වලට අනුව ඉදිරියේදී රන් අවුන්සයක මිල ඩොලර් 6000 සීමාව ඉක්මවා යාමට වැඩි ඉඩකඩක් පවතී.




රත්තරන් වලට සමගාමීව රිදී මිලෙහිද කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර ඊට හේතු වී ඇත්තේ ඉලෙක්ට්‍රොනික කර්මාන්ත අංශයේ පවතින ඉහළ ඉල්ලුමයි. දේශීය වශයෙන් සලකා බැලීමේදී සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක රන් පවුම් දෙක තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සන්තකව පවතින බැවින්, රන් මිල ඉහළ යාම හරහා ඔවුන්ගේ ගෘහස්ථ වත්කම් වටිනාකම ඉහළ ගොස් තිබේ. මෙය හදිසි අවශ්‍යතාවකදී හෝ කෘෂිකාර්මික හා කුඩා ව්‍යාපාරික අවශ්‍යතා සඳහා බැංකු වෙත රන් භාණ්ඩ උකස් කර ණය ලබා ගැනීමේදී පෙරට වඩා වැඩි මුදලක් (වෙළඳපොළ වටිනාකමෙන් 70%-80% පමණ) ලබා ගැනීමට හැකි වීම වාසිදායක තත්ත්වයකි.

කෙසේ වෙතත් රන් භාණ්ඩවල වටිනාකම ඉහළ යාමත් සමඟ ඒවා සොරකම් කිරීමේ සහ කොල්ලකෑමේ ප්‍රවණතාවද ඉහළ ගොස් ඇති බැවින් ජනතාව තම රන් ආභරණවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. එමෙන්ම රන් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් විවාහ මංගල්‍යයන් සහ වෙනත් අවශ්‍යතා සඳහා රන් භාණ්ඩ මිලදී ගැනීමට අපේක්ෂා කරන තරුණ ප්‍රජාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටී. ඉදිරියේදී රන් භාණ්ඩ මිලදී ගැනීම සඳහාද නිවාස හෝ වාහන ණය ක්‍රම වැනි වාරික වශයෙන් මුදල් ගෙවීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීමේ අවශ්‍යතාවක් පවතී.



දේශීය වෙළඳපොළ තුළ රන් මිල ඉහළ යන වේගයෙන්ම පහළ නොයන බවට චෝදනාවක් පවතින අතර, වෙළඳුන් පවසන්නේ පැරණි මිලට ගත් රත්තරන් හෝ නිෂ්පාදන පිරිවැය මත මිල තීරණය වන බවයි. කෙසේ වෙතත් ගෝලීය මිල ගණන් සුළු වශයෙන් අඩු වුවද, දේශීය මිල ගණන් කැපී පෙනෙන ලෙස පහළ යනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. මේ අතර ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම කලාපීය ආර්ථිකයට වැදගත් වන අතර, වේගයෙන් වර්ධනය වන ඉන්දියානු ආර්ථිකය (6.4% වර්ධනයක්) සමඟ ශ්‍රී ලංකාවද සමීපව කටයුතු කිරීම ආර්ථික වශයෙන් ප්‍රතිලාභ අත්කර ගැනීමට ඉවහල් වනු ඇත.

වර්තමාන ගෝලීය ආර්ථික රටාව තුළ ඇමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යය අභියෝගයට ලක්ව ඇති අතර චීනය සහ BRICS රටවල් නව ආර්ථික බල කඳවුරු ලෙස නැගී සිටිමින් පවතී. බොහෝ රටවල් ඩොලර් සංචිත වලින් ඉවත්ව රන් සංචිත වෙත මාරු වීමත් සමඟ ඉදිරි කාලයේදී දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියානු රුපියල පදනම් කරගත් ගනුදෙනු පුළුල් වීමේ වැඩි ඉඩකඩක් පවතී. මෙම නව බහු-ධ්‍රැවීය ආර්ථික රටාව සහ රන් මිලෙහි හැසිරීම ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ගමන් මඟ තීරණය කිරීමේදී තීරණාත්මක සාධකයක් වනු ඇත.