we-are-working-properly-but-why-kenehelikan---customs-officers-wear-black-belts

වසර 6ක් තිස්සේ ප්‍රමාද කර ඇති රේගු නිලධාරින්ගේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.




සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී බලධාරීන් දැනුවත් කළ ද ඊට නිශ්චිත විසඳුම් ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැති බව ද රේගු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර ඇත.එම නිසා අද (24) දිනයේ සිට දිවයින පුරා සියලු රේගු කාර්යාලවල කළුපිටි පැලඳ රාජකාරී කටයුතුවල නිරත වීමට රේගු නිලධාරීන් තීරණය කර තිබේ රේගු නිලධාරීන්ට හිමිවිය යුතු උසස්වීම් වසර හයකට අධික කාලයක් තිස්සේ ලබා නොදීමට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, සහකාර රේගු අධිකාරිවරුන්ගේ සංගමය සහ රේගු නිලධාරීන්ගේ සංගමය යන සංගම්වල එකමුතුවෙන් සැදුම්ලත් මෙම සන්ධානය පෙන්වා දෙන්නේ, සිය ගැටලුව සඳහා වහාම ලිඛිත හා සාධාරණ විසඳුමක් නිශ්චිත කාලරාමුවක් තුළ ලබා නොදුනහොත් මෙම දැඩි පියවර ගන්නා බවයි.

2020 පෙබරවාරි 13 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ රේගු දෙපාර්තමේන්තුවේ සංශෝධිත බඳවා ගැනීමේ පටිපාටිය (SOR) වසර හයක් ගතවී තිබියදීත් මෙතෙක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව එම සන්ධානය පවසයි. මෙම තත්ත්වය නිලධාරීන්ගේ අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔවුන්ගේ අදහසයි. සිය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් බලධාරීන් සමග පසුගිය වසර කිහිපය පුරාවටම සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කළද, නිරන්තර ප්‍රමාද කිරීම් සහ නිශ්චිත කාලරාමුවක් ලබා නොදීම හේතුවෙන් එම සාකච්ඡා මාර්ගය මුළුමනින්ම අසාර්ථක වී ඇති බවද සමිති සන්ධානය අවධාරණය කරයි.




රාජ්‍ය නිලධාරීන් ලෙස සිය වගකීම මැනවින් අවබෝධ කරගනිමින්, පසුගිය වසර හය පුරාවටම නියමිත වැටුප් හෝ උසස්වීම් නොලබා ඉහළ තනතුරුවල රාජකාරි ආවරණය කිරීමට රේගු නිලධාරීන් කටයුතු කර ඇත. ඔවුන්ගේ එම දැඩි කැපවීම මත දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට පමණක් නොව, පසුගිය වසරේ ආදායම් ඉලක්ක පවා අතික්‍රමණය කරමින් ඉහළ ආදායමක් ඉපැයීමට රේගුව සමත් විය. එහෙත්, අත්තනෝමතික අර්ථකථන සහ පදනම් විරහිත තාක්ෂණික කරුණු ඉදිරිපත් කරමින් බලධාරීන් විසින් සංවිධානාත්මකව නිලධාරීන්ගේ ස්ථිර පත්වීම් සහ උසස්වීම් ප්‍රමාද කිරීම ඔස්සේ සිදුවන්නේ නිලධාරීන්ගේ ශ්‍රමය සූරාකෑමක් බවත්, එය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි.

රේගු නිලධාරීන් මෙලෙස ඉල්ලා සිටින්නේ අලුතින් වැටුප් වැඩිකිරීමක් හෝ නව වරප්‍රසාදයක් නොවන බවත්, බඳවා ගැනීමේ පටිපාටියට අනුව ඔවුන්ට නීත්‍යානුකූලව හිමිවිය යුතු තනතුරු හා නියමිත දින සිට ලබා දිය යුතු වැටුප් පමණක් බවත් මෙමඟින් වැඩිදුරටත් පැහැදිලි කර ඇත. වසර හයක් පුරා සිදු වූ මෙම අසාධාරණයට එරෙහිව ගනු ලබන දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ජාතික ආර්ථිකයට, ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම සාමාන්‍ය මහජනතාවට ද යම් බලපෑමක් එල්ල වුවහොත්, එහි සම්පූර්ණ වගකීම මෙතෙක් කල් ගැටලුවට සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ බලධාරීන් විසින් භාරගත යුතු බව රේගු වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටියි.