අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය ආසන්නයේ ඇති සුපිරි වෙළෙඳසැල් රථගාලකදී නීතිඥ ගයාන් බුද්ධික මල්ලවාආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් සැපයූ බව කියන 'පන්නිපිටියේ ජනක' නමැත්තා බස්නාහිර දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 22 වැනිදා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මොහු ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින 'මල්වානේ ටුටූ' නැමැත්තාගේ අයිස් මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මොහු විසින් ඝාතනයට පැමිණි පාතාල වෙඩික්කරුවන් දෙදෙනා සඳහා කොට්ටාව සහ පන්නිපිටිය යන ප්‍රදේශවලින් හෝටල් කාමර දෙකක් වෙන්කර දී තිබී ඇත.මෙම ද්විත්ව ඝාතනය සඳහා පැමිණි එක් වෙඩික්කරුවකු වන්නේ අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමකදී මීට පෙර අත්අඩංගුවට ගත් 'බද්දේගම කළු' නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන හිටපු යුද හමුදා සෙබළාය. ඔහු අපරාධයට දින තුනකට පෙර පන්නිපිටියේ හෝටලයට පැමිණ ඇති අතර, රත්නපුර ප්‍රදේශයේ පදිංචි අනෙක් පාතාල වෙඩික්කරුවා දින දෙකකට පෙර කොට්ටාවේ හෝටලයට පැමිණ ඇත. මීට පෙර කිසිදිනෙක දැක නොතිබූ මෙම වෙඩික්කරුවන් දෙදෙනා හෝටල් කාමරවල රැඳී සිටිමින් දුරකථනය හරහා ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින බද්දේගම කළු නමැත්තා හෝටලයේ ගතකළ දින තුන තුළ එක දිගටම මෙන්ම අපරාධයට යෑමට සුළු මොහොතකට පෙර ද මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මල්වානේ ටුටූ සහ කරන්දෙණියේ සුද්දා යන අය විසිනි. මියගිය නීතිඥ බුද්ධික මහතා මීට පෙර කරන්දෙණියේ සුද්දාගේ නීතිඥයා ලෙස කටයුතු කර ඇති අතර, පසුව ඔහු හිටිහැටියේම 'ලොකු පැටී' නමැති පාතාල නායකයා වෙනුවෙන් පෙනී සිටීම මෙම ඝාතනයට ප්‍රධාන හේතුව වී තිබේ. තමන්ගේ සියලු රහස් නීතිඥවරයා විසින් ලොකු පැටී වෙත හෙළිකරනු ඇතැයි යන සැකය මත මෙම අපරාධය මෙහෙයවා ඇත. එසේම, නීතිඥවරයාගේ බිරිඳ ද මෙම රහස් දන්නා බැවින් ඇගේ ජීවිතය බේරුණහොත් තොරතුරු හෙළිවෙතැයි බියෙන් ඇයව ද ඝාතනය කළ යුතු බවටත්, මෝටර් රථයේ තවත් අය සිටියහොත් ඔවුන්වත් විනාශ කළ යුතු බවටත් කරන්දෙණියේ සුද්දා විසින් බද්දේගම කළු වෙත උපදෙස් දී තිබිණි.
අපරාධය සිදුකළ බද්දේගම කළු සහ එය මෙහෙයවූ කරන්දෙණියේ සුද්දා යන දෙදෙනාම යුද හමුදාවේ සේවය කර ඇති අතර, ඔවුන් අතර දැඩි හිතවත්කමක් ගොඩනැඟී ඇත්තේ කරන්දෙණියේ 'හිතහොඳ දොස්තර' ඝාතනය සම්බන්ධයෙන් සුද්දා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි සමයේදී කළු නමැත්තා ද එහි රඳවා සිටියදීය. කරන්දෙණියේ සුද්දා ඩුබායි වෙත පලාගිය පසුවද මෙම සබඳතාව පවත්වාගෙන ගොස් ඇත. බද්දේගම කළුගේ දියණියගේ වැඩිවියට පත්වීමේ උත්සවය ගැනීම සඳහා මුදල් නොමැතිව සිටියදී කරන්දෙණියේ සුද්දා විසින් ඔහුට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබාදී තිබේ. එම මුදල ආපසු අවශ්‍ය නොවන බවත්, ඒ වෙනුවට තමාට උපකාරයක් කරන ලෙසත් සුද්දා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සහ එම උපකාරය කිසිදා අමතක කළ නොහැකි බව පවසමින් කළු විසින් මෙම කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත.
සැලසුම් කළ පරිදි ටී-56 ස්වයංක්‍රීය ගිනිඅවියකින් සන්නද්ධව සිටි බද්දේගම කළු සහ පිස්තෝලයක් රැගෙන ආ අනෙක් වෙඩික්කරුවා නීතිඥවරයා සහ බිරිඳ සිටි මෝටර් රථයට එක්වරම වෙඩි වරුසාවක් එල්ල කර ඔවුන් දෙදෙනා ඝාතනය කර තිබේ. ඉන් අනතුරුව බද්දේගම කළු විසින් කරන්දෙණියේ සුද්දාට සහ මල්වානේ ටුටූට දුරකථන ඇමතුමක් ලබාදෙමින් දෙදෙනාවම විනාශ කළ බවත් රථයේ වෙනත් කිසිවෙකු නොසිටි බවත් දැනුම් දී ඇත. ඒ සැණින් සුද්දා විසින් කළු වෙත රුපියල් ලක්ෂයක මුදලක් එවා ඇති අතර, පොලිසියට හසුනොවී කොහේ හෝ සැඟවී සිටින ලෙසත් ඉදිරියේදී තවත් මුදල් එවන බවටත් ප්‍රකාශ කර ඇති බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මේ වනවිට අනාවරණය වී තිබේ.



