අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ සාහසික ලෙස වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට විරෝධය පළ කරමින්, පෙබරවාරි 16 වැනිදා දීප ව්‍යාප්ත මට්ටමින් සියලුම රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ. මෙම තීරණයට එළඹ ඇත්තේ එම සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 15 වැනිදා කොළඹ අලුත්කඩේ පිහිටි නීතිඥ සංගම් මූලස්ථානයේදී පැවති විශේෂ මහා සභා රැස්වීමේදීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අයත් සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙවැනි විශේෂ රැස්වීමක් කැඳවා ඇත්තේ වසර දහහතරකට පසුව වීම විශේෂත්වයකි. මීට පෙර මෙවැනි හදිසි කැඳවීමක් සිදුකර තිබුණේ 2012 වර්ෂයේදී එවකට අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුව තුළින් දෝෂාභියෝගයක් ගෙනවිත් ධුරයෙන් ඉවත් කිරීමේ සිදුවීම පදනම් කරගනිමිනි.
මෙම විශේෂ මහා සභාවේදී ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, කුවේර ද සොයිසා, උපුල් ජයසූරිය මෙන්ම නීතිඥවරුන් වන නුවන් බෝපගේ සහ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් අදහස් දක්වා ඇත. එහිදී අදාළ නීතිඥවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පමණක් නොව, රට තුළ නිර්මාණය වී ඇති සමස්ත ඝාතන සංස්කෘතිය පිළිබඳවම පුළුල් කථිකාවක නිරත විය යුතු බවට යෝජනා වී ඇති අතර, මෙම අපරාධය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමේදී වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් ද කර තිබේ.
මේ අතර, අදාළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ද ඇතුළුව විශේෂ පොලිස් කණ්ඩායම් දොළහක් මේ වනවිටත් පත්කර ඇති බව පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා දෙන්නේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් සිව්දෙනෙකු පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රැසක් මේ වනවිටත් පොලීසිය වෙත අනාවරණය වී ඇති බවයි.
අපරාධකරුවන් පළාගිය බවට සැකකෙරෙන ගිනිගැනීමට ලක්වූ වාහනය පිළිබඳව මාධ්‍ය මගින් විවිධ තොරතුරු වාර්තා කළද, රජයේ රසපරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් එය අපරාධකරුවන්ගේම වාහනය යැයි නිශ්චිතවම තහවුරු කළ නොහැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. එසේම, මෙම ඝාතනය වෙඩික්කරුවන් දෙදෙනෙකුට පමණක් සීමා වූවක් නොවන බවත්, ඒ පසුපස තවත් පිරිසක් සිටින බවට සාර්ථක තොරතුරු ලැබී ඇති බැවින් ඉදිරි දින දෙක ඇතුළත අපරාධය විසඳීමට හැකිවනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළේය. අදාළ නීතිඥවරයා සම්බන්ධයෙන් පොලීසිය මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර, දැනට ඉතා සංවේදී මට්ටමක පවතින මෙම විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පළවන ඇතැම් කරුණු සම්පූර්ණයෙන්ම අනුමත කරන්නේ හෝ බැහැර කරන්නේ හෝ නොමැති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.