දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය සියැසින් නිරීක්ෂණය කිරීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය හෙට (16) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව එම අරමුදල ප්‍රකාශ කරයි.
ඇයගේ මෙම සංචාරය අතරතුර, ජෝර්ජියේවා මහත්මිය මෙරට ඉහළ පෙළේ බලධාරීන් සහ විවිධ පාර්ශවකරුවන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පැවසීය.
මෙම සංචාරයේදී, ජෝර්ජියේවා මහත්මිය එළඹෙන 18 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත. එහිදී, ශ්‍රී ලාංකික ජනතාවට ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට මෙන්ම රටේ යථා තත්ත්වය යළි ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදිය හැකි සහාය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි එම අරමුදල වැඩිදුරටත් දන්වා සිටියේය.
මේ අතර, දිට්වා සුළි කුණාටුව මෙරටට බලපෑමත් සමග, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති මූල්‍ය වැඩසටහනේ ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා සිදු කිරීමට නියමිතව තිබූ පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම ප්‍රමාද කිරීමටද එම අරමුදල පියවර ගත්තේය.