
2025 වසරේ ශ්‍රී ලංකාවේ දේශීය ඉංග්‍රීසි කාණ්ඩය යටතේ වැඩිම අලෙවියක් වාර්තා කිරීමට සමත් වූ "Forbidden Love of a Buddhist Monk" නමැති නවකතාව පදනම් කරගනිමින් නිර්මාණය වන "භික්ෂුවකගේ අසම්මත ප්‍රේමය" නම් නවතම සිනමාපටය මේ වන විට ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ. පූජ්‍ය පානදුරේ ආනන්ද හිමියන් විසින් රචනා කරන ලද මෙම කෘතිය, හුදෙක් තවත් එක් සාමාන්‍ය ආදර කතාවක් හෝ සරල ප්‍රේමනීය වෘත්තාන්තයක් නොවන අතර, එය සමාජය විසින් තහනම් යැයි සම්මත කරනු ලැබූ හැඟීම් සහ කතා කිරීමට බිය වූ සත්‍යයන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය.
මෙම දැවැන්ත සිනමා ව්‍යාපෘතිය කොළඹ ජාත්‍යන්තර අධ්‍යාත්මික පදනම (CISF Films) හරහා නිෂ්පාදනය වන අතර, එය ශ්‍රී ලංකාවෙන් ඇරඹෙන අන්තර්ජාතික ආධ්‍යාත්මික සිනමා ගමනක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම චිත්‍රපටය සමාජ සම්ප්‍රදායන්ගෙන් සීමා කරපු සත්‍යයන් අතර සිරවී සිටින ප්‍රේමයක් පිළිබඳ කරන සිනමාත්මක ප්‍රකාශයක් ලෙසද සැලකේ.මෙම අපූරු කතාව සිනමාවට නැගීමේ අදහස අහම්බයකින් උපන් සිහිනයක් වීම විශේෂත්වයකි. ඇමසන් (Amazon) වෙබ් අඩවිය හරහා මෙම පොත කියවූ ජනප්‍රිය ඉන්දීය බොලිවුඩ් නිළි කාජල් උර්මිලා ජේන්, පූජ්‍ය පානදුරේ ආනන්ද හිමියන් වෙත ස්තූති පණිවිඩයක් යවමින් මෙවැනි කතාවක් සිනමාපටයක් බවට පත් කරන්නේ නැද්දැයි විමසීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියට මූලික අඩිතාලම වැටී ඇත. එම එක් වාක්‍යයකින් ඇරඹුණු කතාව අද වන විට දැවැන්ත අන්තර්ජාතික සිනමා ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. ඒ අනුව ඇය මෙම සිනමාපටයේ ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වන අතර, ඒ සඳහා ඇය රුපියල් කෝටි එකහමාරක මුදලකට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. මීට පෙර ශ්‍රී ලංකාවේ විකාශය වූ "ශ්‍රී සම්බුද්ධ ගෞතම" ටෙලිනාට්‍යයේ යශෝධරාව ලෙසත්, "පණ්ඩිත් රාමා" ටෙලිනාට්‍යයේ චිත්‍රාංගනා රැජින ලෙසත් ඇය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන ඇති දක්ෂ නිළියකි. තවද, ඇය මේ වන විටත් ඉන්දීය සිනමාහල්වල තිරගත වන "යාරාන් අන්නමලේ" වැනි චිත්‍රපට කිහිපයකම ප්‍රධාන චරිත නිරූපණය කර තිබේ.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහ කොළඹ ජාත්‍යන්තර අධ්‍යාත්මික පදනමේ ප්‍රධාන භාවනා කර්මස්ථානාචාර්යවරයාණන් වහන්සේ ලෙස කටයුතු කරන්නේ මෙම කෘතියේ රචක පූජ්‍ය පානදුරේ ආනන්ද හිමියන්ය. ප්‍රධාන නිළි කාජල් ජේන් මෙන්ම, ඉන්දීය සුපිරි නළු සහ නිෂ්පාදක ආර්‍යමාන් සෙත් ද උන්වහන්සේගේ භාවනා අනුගාමිකයන් වන අතර, ආර්‍යමාන් සෙත් ද මෙම සිනමාපටය සඳහා සිය රංගනයෙන් සහ නිෂ්පාදන දායකත්වයෙන් එක්වීමට නියමිත බව වාර්තා වේ. මෙය ශ්‍රී ලංකා සහ ඉන්දියා සම්බන්ධතාවය එකම තිරයක් මත බැඳ දක්වන සුවිශේෂී ආධ්‍යාත්මික සිනමා අත්දැකීමක් වනු ඇත. මෙම සිනමාපටය මගින් භික්ෂු ජීවිතයක ඇතුළත සිතේ පැන නගින අභ්‍යන්තර සටන්, කර්මය ජීවිත හරහා ගමන් කරන ආකාරය, මෙන්ම අද සමාජයේ මිනිසුන් මුහුණ දෙන මානසික පීඩනයන් ජයගත හැකි ප්‍රායෝගික භාවනා මාර්ගයන් පිළිබඳව පුළුල් විවරණයක් සිදු කෙරේ. මෙය හුදෙක් සිනමාපටයක් වුවද, පූජ්‍ය පානදුරේ ආනන්ද හිමියන්ගේ ජීවිත අත්දැකීම්ද මීට මුසු වී ඇති බැවින් එය සැබවින්ම ජීවිත කතාවක් ලෙසද හැඳින්විය හැකිය.
මෙම කතාන්දරය හුදු ප්‍රේමයකට සීමා නොවී පසුගිය ජන්ම තුනක් පුරාවට දිවෙන ආදර සබඳතා සහ කර්මය මත පදනම් වූවක් බැවින්, මෙය ආදර කතාවක් (love story) යන්නට වඩා කර්මය පිළිබඳ කතාවක් (karma story) ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි බව කියවන පාඨකයන්ගේ අදහස වී ඇත. විශේෂයෙන්ම කතාවේ මැද කොටසින් නිරූපණය වන, අතීත ජන්මයක ඉන්දියානු රාජකීය පසුබිමක සිදු වූ සංවේදී ප්‍රේම කතාව සහ වෙන්වීම, ප්‍රේක්ෂක හදවත් තදින් අල්ලාගන්නා කොටසක් බව පැවසේ. මෙම කොටස සිනමා තිරයට පැමිණි විට සිනමාශාලාව තුළ ප්‍රේක්ෂකයාගේ හුස්මත් නවතින තරම් බරපතල දර්ශන (heavy scenes) මෙහි අඩංගු බව කෘතිය කියවූවන් පවසයි. මෙහිදී චිත්‍රපටයේ නිර්මාණකරුවන් විසින් අතිශය නාට්‍යමය සංවාද හෝ ඝෝෂාකාරී ශබ්ද භාවිත කිරීම වෙනුවට, නිහඬ බව තුළින් කතාව කියාපාන වෙනස්ම සිනමා භාෂාවක් තෝරාගෙන තිබේ. කැමරා කෝණ, ආලෝකකරණය සහ රිද්මය භාවිත කරමින්, බැලූ බැල්මක්, කතා නොකළ වාක්‍යයක්, සහ අතහැරුණු අවස්ථාවක් වැනි සියුම් දේවල් හරහා චරිතවල අභ්‍යන්තර හැඟීම් ප්‍රේක්ෂකයාට දැනෙන්නට සලස්වා ඇත.
"භික්ෂුවකගේ අසම්මත ප්‍රේමය" සිනමාපටය සමාජයට හෝ කිසිදු සමාජ කණ්ඩායමකට සෘජුවම ඇඟිල්ල දිගු කිරීමක් හෝ ආගමික විවාදයක් මෙන්ම මතභේදාත්මක කම්පනයක් (controversial shock value) ඇති කිරීමේ අරමුණින් නිර්මාණය වූවක් නොවේ. ඒ වෙනුවට එය ප්‍රේක්ෂකයාගෙන් ආදරය, කර්මය සහ අවදිවීම යනු කුමක්දැයි යන ගැඹුරු ප්‍රශ්න කිහිපයක් විමසමින් සාකච්ඡාවකට ආරාධනා කරයි. සමාජය විසින් ආදරය වැරදියි කියා තීරණය කරන විට හෝ ආදරය නීතිවලට යටත් කරන විට මිනිස් හිතේ සැබෑ සත්‍යය කුමක්ද යන්න පිළිබඳව මෙමගින් සාකච්ඡා කෙරේ. මෙහිදී තහනම් වන්නේ මිනිසුන් නොව, ඔවුන්ගේ හැඟීම්, සිතුවිලි සහ සත්‍යය බව චිත්‍රපටයේ නාමයෙන්ම ගම්‍ය වේ. මෙය හුදෙක් සිනමාශාලාවෙන් පිටවන විට අවසන් වන සරල සිද්ධි මාලාවක් නොව, ප්‍රේක්ෂකයාට තමන් ගැනම නැවත සිතන්නට සහ ප්‍රශ්න කරන්නට ඉඩ සලසන, හිත ඇතුළේ ප්‍රශ්න හතර පහක් ඉතිරි කරවන නිර්මාණයක් බව පැවසේ. මෙම චිත්‍රපටය නරඹන විට ප්‍රේක්ෂකයාට තමන්ගේම සිතුවිලි තිරය මත දකිනවා වැනි හැඟීමක් ඇති වනු ඇතැයි ද සඳහන් වේ.
ශ්‍රී ලාංකීය සිනමාවට කාලයෙන් කාලයට අවශ්‍ය වන නව කතා, නව සිනමා භාෂාවන් සහ කතා කිරීමට බිය වූ ප්‍රශ්න නිර්භීතව සමාජය ඉදිරියට ගෙන එන මෙවැනි නිර්මාණයක්, සිනමා උළෙලවල් (festival circuit) දක්වා ගමන් කළ හැකි ගැඹුරකින් යුක්ත වේ. මේ වන විට මෙම දැවැන්ත ව්‍යාපෘතියේ පූර්ව නිෂ්පාදන කටයුතු ආරම්භ වී ඇති අතර, ඉදිරි මාසවලදී රංගන ශිල්පීන්, රූගත කරන ස්ථාන සහ නිර්මාණාත්මක කණ්ඩායම පිළිබඳ නිල නිවේදන නිකුත් කිරීමට නියමිතය. බොක්ස් ඔෆිස් (box-office) වාර්තා ගැන පමණක් නොසිතා, සමාජ සංවාදයක් සහ නිහඬ විරෝධයක් මතු කරන මෙම සිනමාපටය නරඹන අයෙකුට මෙය හුදෙක් චිත්‍රපටයක් පමණක් නොව හදවතට දැනුණු අත්දැකීමක් ලෙස හැඟී යනු ඇත. ආදරය ප්‍රේම කතාවක් ලෙස ආරම්භ වී දර්ශනයක් (philosophy) ලෙසින් අවසන් වන මෙම කෘතිය, සිනමාශාලාව පුරා දැඩි නිශ්ශබ්දතාවයක් ඇති කිරීමටත්, ආදරය සහ කර්මය අතර ඇති සියුම් මායිම පිළිබඳව විශාල කතාබහක් සහ තර්ක කිරීමක් නිර්මාණය කිරීමටත් සමත් වනු ඇති බව නිසැකය.
ශ්‍රී ලාංකීය නිෂ්පාදකවරයා ලෙස ආචාර්ය ඒකදීර වන්නිආරච්චිගේ කටයුතු කරනු ලබන මෙම චිත්‍රපටයේ රංගන කටයුතු සඳහා දායකත්වය දැක්වීමට සිය ගණනක් නළු නිළියන් අවශ්‍යව ඇති බවත් සම්බන්ධවීමට කැමති නවකයන් 0772264202 දුරකථන අංකයට අමතන ලෙසද දන්වා තිබේ.