තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැල් රථගාලකදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් පිටුපස විදෙස්ගත ප්‍රබල පාතාල නායකයෙකුගේ මෙහෙයවීමක් ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පළ කරයි. මෙම ඝාතනය අද සවස් භාගයේදී වාර්තා වූ අතර, එය කොන්ත්‍රාත්තුවක් මත ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධයක් බවට පොලිසිය අනුමාන කරයි.
මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බුද්ධික මල්ලවාරච්චි නමැති නීතිඥවරයා සහ රජයේ ආයතනයක සේවයේ නියුතු ඔහුගේ බිරිඳ වන වෙල්ලාල ආරච්චිගේ නිසංසලා පුබුදු ලේදොල වලල්ලාවිට යන දෙදෙනාය. පිටිගල ප්‍රදේශය සිය මුල් ගම කරගත් මෙම නීතිඥවරයා වර්තමානයේ අතුරුගිරිය, පෝරේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව අනාවරණය වී තිබේ.
මෙම නීතිඥවරයා ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින්ගේ නඩු කටයුතු වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි අයෙකු බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයේදී ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන 'ලොකු පැටී' වෙනුවෙන් ද ඔහු පෙනී සිට ඇත. විදෙස්ගතව සිටි ලොකු පැටී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ දා පටන් ඔහුගේ නීති කටයුතු මෙහෙයවා ඇත්තේ ද මෙම නීතිඥවරයා විසිනි. අද උදෑසන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ එකී ඝාතන නඩුවට ද ඔහු ලොකු පැටී වෙනුවෙන් පෙනී සිට ඇති අතර, එහිදී සැකකරුවන් බන්ධනාගාරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මීට අමතරව, කලක පටන් විදෙස්ගතව සිටින 'කරන්දෙනිය සුද්දා' නැමැති අපරාධකරුගේ නඩු කටයුතු වෙනුවෙන් ද මෙම නීතිඥවරයා පෙනී සිට ඇති බව පොලිසිය තහවුරු කරයි. මේ වන විට කරන්දෙනිය සුද්දා සහ ලොකු පැටී අතර යම් ගැටුමක් නිර්මාණය වී ඇති බවට පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර, මෙම ද්විත්ව ඝාතනය එම ගැටුමේ ප්‍රතිඵලයක් ද යන්න පිළිබඳව විමර්ශකයින් දැඩි අවධානයක් යොමු කර තිබේ.
අද සවස බත්තරමුල්ල ප්‍රදේශයෙන් සිය බිරිඳවද නංවාගෙන නීතිඥවරයාට අයත් BCM 6640 දරණ රිදී පැහැති ටොයොටා යාරිස් වර්ගයේ මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී ඔවුන් මෙම අපරාධයට මුහුණ දී ඇත. ඔවුන් අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලකට ගොඩවී ඇති අතර, ඒ වන විටත් ඝාතකයින් ඔවුන් පසුපස ලුහුබැඳ විත් තිබේ. අළු පැහැති හොන්ඩා සිවික් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන්, සුපිරි වෙළෙඳසැල අසල මාර්ගයේ යම් වේලාවක් රැඳී සිට ඇති බවද අනාවරණය වී ඇත.
අනතුරුව, නීතිඥවරයා සහ බිරිඳ වෙළෙඳසැලෙන් පිටතට පැමිණ වාහනයට ගොඩවී ගමන් ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවේදී ක්‍රියාත්මක වූ වෙඩික්කරුවන් දෙදෙනෙකු ඔවුන් වෙත කඩාපැන ඇත. එහිදී රියදුරු අසුනේ සිටි නීතිඥවරයාට ටී-56 ගිනිඅවියකින් ද, යාබද අසුනේ සිටි බිරිඳට පිස්තෝලයක් වැනි පැති අවියකින් ද දිගට හරහට වෙඩි ප්‍රහාර එල්ල කර පලාගොස් තිබේ. මෙම වෙඩි තැබීමෙන් නීතිඥවරයාගේ හිසට බරපතළ හානි සිදුවී ඇති අතර, හිසේ කොටස් රථය තුළ විසිරී ගොස් තිබූ බව පොලිසිය පවසයි. ආරක්ෂිත කැමරා දර්ශනවලට අනුව මෙම වෙඩික්කරුවන් ඉතා පුහුණු සහ පළපුරුදු පිරිසක් බවට පොලිසිය සැක කරන අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇත.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ මෙම ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි ලෙස හෙළාදකින බවය. මෙවැනි ප්‍රහාර නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඔවුන් නීතිය හමුවට පමුණුවන ලෙසත් නීතිඥ සංගමය පොලිසියෙන් ඉල්ලා සිටී.