ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ මාදැල් ධීවරයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය විරෝධතාව අත්හැරීමට ධීවර ප්‍රජාව තීරණය කර තිබේ. විරෝධතාකරුවන්ට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනයකට අනුව මෙම හමුව සිදුවූ අතර, එහිදී සියලුම පාර්ශ්වයන් එක්ව කෙටි කාලයක් තුළ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුවට සුදුසුම විසඳුමක් සෙවීමට එකඟතාවකට පැමිණ ඇත.
ඒ අනුව, අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා වන මූලික සාකච්ඡා සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් එළඹෙන සඳුදා දිනයේදී ආරම්භ කිරීමට නියමිතය.ශ්‍රමිකයන් හිඟවීම හේතුවෙන් 2010 වසරේදී ආරම්භ කර, 2013 වසරේ සිට වින්ච් (Winch) යන්ත්‍ර ක්‍රමවේදය භාවිත කරමින් පවත්වාගෙන ආ මාදැල් කර්මාන්තයට මේ වන විට මතුව ඇති බාධා පිළිබඳව ධීවර නියෝජිතයෝ මෙහිදී ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කළහ. තමන් මුහුණ දී ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙලෙස සාකච්ඡාවක් ලබාදීම පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයාට සිය කෘතවේදීත්වයද පළ කළහ.
ධීවරයන්ගේ අත්දැකීම් සහ ගැටලුවලට සවන් දුන් ජනාධිපතිවරයා අවධාරණය කළේ, කිසිදු පුරවැසියෙකුගේ ආර්ථික හෝ ජීවන තත්ත්වය බිඳවැටීමට ලක් කිරීම රජයේ අරමුණ නොවන බවයි. රජය නිරන්තරයෙන්ම සියලු දෙනාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මෙම අර්බුදයට විසඳුම් සෙවීමේදී සෙසු ධීවර ජනතාවගේ පැමිණිලි, පරිසර සංවිධානවල අදහස් සහ ධීවර අමාත්‍යාංශය ඇතුළු විද්‍යාත්මක පර්යේෂණ ආයතන නිකුත් කර ඇති වාර්තා පිළිබඳවද දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව යමින් සහ තහනම් පන්න ක්‍රම භාවිතය වළක්වමින්, අනාගත පරපුර වෙනුවෙන් සාගර සම්පත් මෙන්ම පරිසරයේ සුරක්ෂිතභාවයද තහවුරු වන අයුරින් විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බවයි. එමෙන්ම, මෙම ගැටලුව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන තෙක් සාකච්ඡා පැවැත්වෙන කාලසීමාව තුළදී, අදාළ කර්මාන්තයේ නියැලෙන්නන් මුහුණ දෙන කල්බදු සහ වෙනත් ණය ගෙවීම් සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ විශේෂ සාකච්ඡාවක් ලබාදීමටද මෙහිදී එකඟත්වය පළ වී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා මාදැල් ධීවර නියෝජිතයන්ට අමතරව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, අමාත්‍යාංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස සහ ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.