update-court-allowed-to-detain-ayya-malo-who-helped-akuregoda-murder---no-lawyer-support

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලක් තුළදී ඉකුත් සිකුරාදා (13) නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනා අද (17) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර, අගතියට පත් පාර්ශවය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරුන් ප්‍රමුඛ නීතිඥවරුන් සියයකට ආසන්න පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 48ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට එහිදී අවසර හිමි විය.




මෙම ද්විත්ව ඝාතනය සඳහා යොදාගත් ගිනිඅවි දෙක ප්‍රවාහනය කිරීමට අදාළ සැකකාර තරුණයන් දෙදෙනාට උපදෙස් දුන් බව කියන "පොල්ගස්ඕවිට ඩිලා" නැමැත්තා ද බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අද දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොල්ගස්ඕවිට ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගත් මෙම 28 හැවිරිදි සැකකරු, "මල්වානේ ටුටූ" සහ "මෝදර නිපුන" නැමැත්තන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.


වෙඩික්කරුවන් වෙත ගිනිඅවි ලබාදීම සඳහා මොහු ද අත්අඩංගුවේ පසුවන සහෝදරයන් දෙදෙනා සමග ගොස් ඇති බව විමර්ශන හරහා මේ වන විට තහවුරු වී ඇත.

අත්අඩංගුවට ගත් සහෝදරයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ "කරන්දෙණියේ සුද්දා" නැමැත්තාගේ උපදෙස් මත "මෝදර නිපුන" සහ "මල්වානේ ටුටූ" විසින් මෙම ඝාතන සැලසුම මෙහෙයවා ඇති බවයි. මේ අතර, අකුරේගොඩ සුපිරි වෙළෙඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට අදාළ ගිනිඅවි බහාලූ බෑගය සැකකාර සහෝදරයන් එක්ව මෝටර් රථයකින් ගෙනවිත් ලබා දෙන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් ද අද දෙරණට ලැබී තිබුණි. ආයුධ ලබා දීමෙන් පසු ඔවුන් හෝකන්දර දෙසට ගමන් කර ඇති අතර, එම අවස්ථාවේදී අදාළ නීතීඥවරයා එම මාර්ගයේ පැමිණෙන බව දැක ඒ පිළිබඳව වෙඩික්කරුවන්ට දැනුම් දී ඇත්තේ ද මෙම සැකකරුවන් දෙදෙනා විසින් බව හෙළි වී ඇත.



මේ අතර, අදාළ ඝාතකයින් ගමන් කළ බවට සැකකෙරෙන මෝටර් රථය බද්දේගම, අගලිය ප්‍රදේශයේ පාළු භූමියක ගිනි තබා විනාශ කර තිබියදී පොලීසිය විසින් පසුගියදා සොයාගනු ලැබීය. ඒ අනුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ එම මෝටර් රථය වැඩිදුර පරීක්ෂාවට ලක් කර තිබේ.

gossiplanka image 1


gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4