update-karandeniya-sudda-killed-his-ex-lawyer-and-his-wife-after-sending-information-to-cctv

තලංගම, අකුරේගොඩ පිහිටි කීල්ස් සුපිරි වෙළෙඳසැලක් අසලදී අද (13) පස්වරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ අතර මේ වනවිට ඒ ගැන වැඩිදුර තොරතුරු අනාවරණය වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි බුද්ධික මල්ලවආරච්චි නමැති නීතීඥවරයා සහ ඔහුගේ බිරිඳ බවට පොලිසිය විසින් මේ වනවිට අනාවරණය කරගෙන ඇත.




මෙම අඹුසැමි යුවළ වෙළෙඳසැල ඉදිරිපිට නවතා තිබූ සිය ටොයොටා යාරිස් රථය තුළ රැඳී සිටියදී සවස 5.00ට පමණ මෙම සාහසික ප්‍රහාරය එල්ල වී තිබේ. වෙනත් මෝටර් රථයකින් පැමිණ ඇති සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී-56 (T-56) වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් වෙඩි මුර දහයක් පමණ එල්ල කර පළාගොස් ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත.
සීසීටීවී දර්ශන අනුව පෙනී යන්නේ ඝාතකයින් පැමිණි වාහනය මෙම වාහනය පිටව යන්න සූදානම් වන තුරු ආසන්නයේ රැක සිට මෙම වාහනයට වාහන අංගනයෙන් පිටව යන්න බැරිවන ලෙස හරස් කර නවතන අයුරුය. එම අවස්ථාවේ ඝාතකයින් දෙන්නා වාහනයෙන් වේගයෙන් බැස නීතීඥ මහතා හා බිරිය සිටි වාහනය වෙත ගිනි අවි රැගෙන සමීප වන අයුරු සීසීටීවී සාක්ෂි වලින් පෙන්වයි. එම අවස්ථාවේ වාහනයේ වීදුරු වසා ඇති අතර ඔවුන් මෙම වාහනයේ නීතීඥයා දෙසට එක් අයෙකුත් බිරිය දෙසට තවත් අයෙකුත් ගිනි අවි එල්ල කර ඝාතන සිදුකරන්නට ඇතැයි පෙන්නුම් කරයි.

මියගිය නීතීඥවරයා මීට පෙර 'කරන්දෙණිය සුද්දා' නමැති සංවිධානාත්මක අපරාධකරුගේ අධිකරණ කටයුතු වෙනුවෙන් පෙනී සිටි අයෙකු බව පොලිසිය පවසයි. සිය සේවාදායකයාගේ රහසිගත තොරතුරු 'ලොකු පැටී' නමැති වෙනත් අපරාධකරුවෙකු වෙත ලබාදීම හේතුවෙන් උරණ වූ කරන්දෙණියේ සුද්දා විසින්ම මෙම ඝාතන සැලසුම මෙහෙයවන්නට ඇති බවට ආරක්ෂක අංශ දැඩි ලෙස සැක පළ කරයි.




මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වීම සඳහා තලංගම පොලිසියේ කණ්ඩායම් තුනක් ඇතුළුව තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වනවිටත් අනුයුක්ත කර තිබේ. පාතාලය හා සම්බන්ධ අයගේ නඩුවලට පෙනී සිටින නීතීඥවරුන්ට සිය වෘත්තීය ජීවිතය ගතකිරීමේදී දරන්නට සිදුවන අවදානම මෙම සිදුවීමෙන් පෙන්නුම් කරයි.

සීසීටීවී දර්ශන මේ සමග පළවේ.

gossiplanka image