as-soon-as-i-become-the-president-investigations-will-be-started-on-the-funds-that-came-to-the-struggle---namal

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (13) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ, අනාගත රජයක් යටතේ 'අරගලය' විරෝධතා ව්‍යාපාරයට ලැබුණු අරමුදල් සහ එම මුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන බවයි.




මෙම ජනාධිපති කොමිසම හරහා අරගලය නමින් හැඳින්වූ ව්‍යාපාරය සහ ඒ සඳහා ගලා ආ විදේශීය අරමුදල් පිළිබඳව විශේෂයෙන් සොයා බලන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක ආණ්ඩු පෙරළීම සඳහා 'USAID' හරහා විදේශීය අරමුදල් යෙදවූ ආකාරය පිළිබඳව ඇමෙරිකානු ජනාධිපතිවරයා පවා කරුණු දක්වා ඇති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

අරගලයට සහභාගී වූ ඇතැමුන්ට විශාල වශයෙන් විදේශීය මුදල් ලැබී ඇති බවට චෝදනා කළ රාජපක්ෂ මහතා, එම මුදල්වලින් වාහන සහ නිවාස මිලදී ගත් බව මෙන්ම විදේශ ගත වූ බවට හිටපු විරෝධතාකරුවන් කිහිප දෙනෙකුම ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති බවද කියා සිටියේය. ඇතැම් පුද්ගලයන් තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා මෙම අවස්ථාව යොදා ගනිද්දී, ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් බිල්ලට ලක්වූ අහිංසක තරුණයින් අද වන විට මරණ දඬුවමට මුහුණ දී සිටින බව පවසමින් ඔහු මෙම විෂමතාවය දැඩි ලෙස විවේචනය කළේය.




තරුණ ජීවිත සහ ඔවුන්ගේ අනාගතය විනාශ කරමින්, විරෝධතා ව්‍යාපාරයේ මුවාවෙන් ඇතැම් පිරිස් සිය දේශපාලන අරමුණු සාර්ථක කරගෙන ඇති බව ඔහු පැවසීය. එදා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ජනතාවට වීථි බසින ලෙස උසිගන්වමින් ඔවුන්ට ආරක්ෂාව සපයන බවට පොරොන්දු වූ පුද්ගලයින් අද බලයට පත්ව සිටින අතර, ඊට සැබෑ ලෙසම සම්බන්ධ වූ සාමාන්‍ය තරුණයින්ට මේ වන විට මරණ දණ්ඩනය නියම වී ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අධිකරණ කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු විවේචකයන්ගෙන් ඉල්ලා සිටියේ අදාළ අධිකරණ තීන්දු මනාව කියවා බලන ලෙසයි. වත්මන් රජය අධිකරණ පද්ධතියට විවිධ බලපෑම් කිරීමට සහ එහි ස්වාධීනත්වයට බාධා කිරීමට උත්සාහ කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය. එසේ වුවද, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේදී අධිකරණය ඉතා ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳව තමා සතුටට පත්වන බව හෙතෙම සඳහන් කළේය.



මහ දවාලේ සිදු කළ මෙම කෘර ඝාතනය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැඳින්වූ රාජපක්ෂ මහතා, එය සමාජ මාධ්‍ය හරහා සාධාරණීකරණය කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව පළ කළේය. මෙම සිදුවීම පකිස්ථානයේ කර්මාන්තශාලාවක සිදු වූ සිදුවීමකට සමාන කළ ඔහු, එවකට අගමැති ඉම්රාන් ඛාන්ගේ මැදිහත්වීම මත එහි යුක්තිය ඉටු වූ බවත්, එදා ඉම්රාන් ඛාන්ට ප්‍රශංසා කළ පිරිස් අද දේශීය විනිසුරුවරුන්ට එවැනි ප්‍රශංසාවක් ලබා නොදෙන බවත් නිරීක්ෂණය කළේය.

දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් තරුණ ජීවිත බිල්ලට දීම ඇතැම් දේශපාලන පක්ෂවල ඓතිහාසික පුරුද්දක් බවත්, අරගල සමයේදී ද නැවත වරක් ක්‍රියාත්මක වූයේ එම රටාවම බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ජීවිත හා දේපළ විනාශය මතින් ඇතැමුන් බලය ලබා ගත්තද, ඊට සම්බන්ධ වූ බොහෝ තරුණයින් අද මරණ දඬුවමට මුහුණ දෙද්දී, එහි සංවිධායකයින් මේ වන විටත් "රජවරුන් මෙන් පාලනය ගෙන යන" බව ඔහු අවධාරණය කළේය.