unp-friends-who-came-to-ravis-birthday-have-united

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ උපන්දිනය පසුගිය 19 වැනිදාට යෙදී තිබූ අතර, එදිනට සමගාමීව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කතාබහකට ලක්වූයේ එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප.) සහ සමගි ජන බලවේගය (ස.ජ.බ.) අතර සමගිවීම පිළිබඳවයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඒ මහතා වෙනුවෙන් කෙටි, චාම් උපන්දින සැමරුමක් සංවිධානය කර තිබුණි.

මෙම සැමරුම රවී කරුණානායක මහතාට නොදන්වා සූදානම් කර තිබීම මෙහි විශේෂත්වය විය.




මෙම සැමරුම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් සංවිධානය කරන ලදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙනෙකුට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රවී කරුණානායක මහතා පැමිණීමත් සමග, උත්සවයට සහභාගී වී සිටි මන්ත්‍රීවරුන් "Happy Birthday to you Ravi" යැයි පවසමින් ඔහුට සුබපැතුම් එක් කළහ. පැමිණ සිටි සියලු දෙනාට කේක් පිරිනැමීම සඳහා කේක් ගෙඩි දෙකක් සූදානම් කර තිබීමද කැපී පෙනුණි. කේක් කැපීමෙන් අනතුරුව රවී මහතා පළමු කේක් කැබැල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කැවූ අතර, ඉන් පසුව රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කේක් පිරිනැමීය.




රවී කරුණානායක මහතාට සුබපැතුම් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්සත් වීම සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් උනන්දුවක් ඇති වී ඇති බවයි. මෙම ඉලක්කය වෙනුවෙන් පක්ෂ දෙකෙහිම සියලු සාමාජිකයින්ගේ කැපවීම අගය කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ, මෙම පක්ෂ දෙක එකට එක්වීමෙන් රට වෙනුවෙන් අති විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි. ජනතාව මෙවන් එකමුතුවක් අපේක්ෂාවෙන් සිටින බවත්, පක්ෂ දෙකෙහි සාමාජිකයින් දැනටමත් එකමුතු වෙමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.



මෙම කෙටි හා චාම් උපන්දින සැමරුම සංවිධානය කළ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා, විපක්ෂයේ සමගිය සහ එකමුතුභාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ උපන් දින වෙනුවෙන් මෙවැනි සැමරුම් උත්සව ඉදිරියටත් සංවිධානය කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.