neluva-and-deraniyagala-massacres

නෙළුව සහ දැරණියගල යන ප්‍රදේශවලින් පුද්ගල ඝාතන සිද්ධි දෙකක් වාර්තා වන බව පොලීසිය සඳහන් කරයි. මෙම ඝාතන දෙකම පසුගිය 20 වනදා සිදුව ඇති අතර, පවුල් ආරවුල් සහ පෞද්ගලික ගැටුම් ඊට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.





පසුගිය 20 වනදා අලුයම නෙළුව, හප්පිටිය ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනයට ලක්ව ඇති බව නෙළුව පොලීසිය පවසයි. එහිදී, හප්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පමණ කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර තිබුණි.




මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකාරියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවය. වයස අවුරුදු 34ක් පමණ වන සැකකාර සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, නෙළුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

මේ අතර, පසුගිය 20 වනදා සවස දැරණියගල, උඩමාලිබොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව දැරණියගල පොලීසිය වාර්තා කරයි. පොලීසිය පැවසුවේ මාලිබොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවය.



සිදුකළ මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, මියගිය පුද්ගලයා සහ ඔහුගේ මාමණ්ඩිය අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මාමණ්ඩිය විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය. ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දැරණියගල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.