a-mother-and-her-friend-were-arrested-for-beating-two-small-children-with-sticks

අඹේවෙල, වර්වික්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී කුඩා දරුවන් දෙදෙනෙකුට පොලුවලින් පහර දී කෲර වධහිංසා පැමිණවීමේ චෝදනාව මත එම දරුවන්ගේ මව සහ ඇයගේ හිතවතා බව කියන පුද්ගලයෙකු ඊයේ (20) කැප්පෙටිපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන අදාළ කාන්තාව සහ 35 හැවිරිදි තිදරු පියෙකි.




මෙම අමානුෂික ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු අටක කුඩා දැරියක් සහ වයස අවුරුදු දෙකහමාරක් වන කුඩා දරුවෙකි. පහරකෑමෙන් බරපතළ ලෙස තුවාල ලබා සිටි එම දරු දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා මේ වන විට බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය තහවුරු කරයි.

පොලිස් විමර්ශනවලට අනුව මෙම දරුවන් දෙදෙනා සහ මව මීට පෙර ඔවුන්ගේ 38 හැවිරිදි නීත්‍යානුකූල පියා සමග මිරහවත්ත, ඩයරබා වත්ත පහළ කොටසේ පිහිටි නිවසක ජීවත් වී ඇත. අත්අඩංගුවට පත් සැකකාර පුද්ගලයා දරුවන්ගේ නීත්‍යානුකූල පියාගේ කිට්ටු මිතුරෙකු වන අතර, ඔවුන් දෙදෙනාම කලක් කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එකට සේවය කර තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් මස 10 වැනි දින ඩයරබා වත්තේ පැවති කුඩා දරුවාගේ උපන්දින සාදයටද මෙම සැකකරු සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.




එම සාදයෙන් මසකට පමණ පසු, එනම් පසුගිය නොවැම්බර් මාසයේදී, සැකකරු විසින් තම මිතුරාගේ බිරිඳ මෙන්ම ඇයගේ දරුවන් දෙදෙනාද රැගෙන අඹේවෙල පිහිටි සිය නිවසට ගොස් එහි පදිංචි කරවාගෙන තිබේ. එම කාලසීමාව තුළදී මව සහ අදාළ පුද්ගලයා එක්ව අවස්ථා ගණනාවකදීම මෙම දරුවන්ට පොලුවලින් පහර දී දැඩි ලෙස හිංසා කර ඇති බව පොලිස් පරීක්ෂණ මගින් හෙළි කරගෙන ඇත.

කෙසේ වෙතත්, පසුව දරුවන්ගේ නීත්‍යානුකූල පියා පැමිණ ඔවුන්ව යළිත් මිරහවත්ත නිවසට රැගෙන ගොස් මිත්තණියගේ භාරයේ රඳවා තිබූ අතර, මෙම පවුල් ආරවුල සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීමටද පියවර ගෙන තිබිණි. පොලිස් භාරයට ගත් සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳ මේ වන විට විදේශගතව රැකියාවක නිරතව සිටින බවත්, ඔහුට දාව උපන් අවුරුදු 8, 12 සහ 15 යන වයස්වල පසුවන පිරිමි දරුවන් තිදෙනා ඔහුගේ නැන්දම්මාගේ රැකවරණය යටතේ පසුවන බවත් වාර්තා වේ.



මෙම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර්.සී. අමරසිංහ සහ සහකාර පොලිස් අධිකාරි I උදයකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත සිදු කෙරේ. ඒ අනුව, කැප්පෙටිපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. තුසිත කුමාර, උපපොලිස් පරීක්ෂක අබේසිංහ මෙන්ම කාන්තා පොලිස් සැරයන් (5498) කල්‍යාණි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ පරීක්ෂණ මෙහෙයවනු ලබයි.