මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට පාතාල සමාජිකයන්ගෙන් ජීවිත තර්ජන එල්ලවීමේ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාතාලය සහ දකුණේ පාතාලය සම්බන්ධයෙන් පාතාල සාමාජිකයන් කීප දෙනකු අතර පැවැති සංවාදයක් සම්බන්ධයෙන් බුද්ධි නිලධාරියකුට ලද තොරතුරක් මත ඒ පිළිබඳව කරුණු අනාවරණය කරගෙන තිබේ.
එම බුද්ධි නිලධාරියා ඒ සම්බන්ධයෙන් සීතාවක කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත දැනුම්දීමෙන් පසුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත.බත්තරමුල්ල සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා කියා සිටියේ අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයෙන් ලද බුද්ධි තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.
අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.