akureegoda-shooter-committed-20-murders

අකුරේගොඩ නීතිඥ ගයාන් බුද්ධික මල්ලවාරච්චි මහතාට සහ ඔහුගේ බිරිය නිසංසලා මහත්මියට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ දෙවැනි වෙඩික්කරු ලෙස සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා සෙබළා දකුණු පළාතේ සිදු වූ මනුෂ්‍ය ඝාතන විස්සකට ආසන්න සංඛ්‍යාවකට සම්බන්ධ බව මොනරාගල මුලස්ථාන පොලීසිය අනාවරණය කරයි.





මෙම හිටපු නාවික හමුදා සෙබළා සමඟ සැඟවී සිටි තවත් පාතාල කල්ලි සාමාජිකයන් බවට සැකකෙරෙන දෙදෙනෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු පළාතේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන, මේ වන විට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟවී සිටින 'කරන්දෙණියේ සුද්දා' නමැත්තාගේ ප්‍රධානතම වෙඩික්කරු ලෙස මෙම හිටපු නාවික හමුදා සෙබළා ක්‍රියාකර ඇති බවට හෙළිවී ඇත.




උසස් පොලිස් නිලධාරියකු පැවසූ පරිදි, මෙම සැකකාර හිටපු නාවික හමුදා සෙබළා පසුගිය වසර කිහිපය තුළ දකුණු පළාතේ වෙඩි තැබීම් සිද්ධි දාහතරක් සිදුකර ඇත. මෙම වෙඩි තැබීම්වලින් සමහර අවස්ථාවල දෙතුන් දෙනා එකවර මියගොස් ඇති බවට ද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. අදාළ ඝාතන සිද්ධියේ පළමු වෙඩික්කරු ලෙස සැකකෙරෙන හිටපු හමුදා සෙබළකු ඊට දින කිහිපයකට පෙර හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර හිටපු නාවික හමුදා සෙබළා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, තමා අතින් ඝාතනය වූ බොහෝ පුද්ගලයන්ගේ නම් නොදන්නා බවත්, 'කරන්දෙණියේ සුද්දා' ලබා දෙන මනුෂ්‍ය ඝාතන කොන්ත්‍රාත්තු කිසිදු පැකිලීමකින් තොරව ඉටුකළ බවත්ය. පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති පරිදි, මෙම ඝාතන සඳහා 'කරන්දෙණියේ සුද්දා' ඔහුට ලක්ෂ ගණනින් මුදල් ලබා දී ඇති අතර, නීතිඥවරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවා ඇත.



අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මොණරාගල සිට ඊයේ (25) අලුයම් කාලයේ මන්නාරමට ගොස්, එහිදී බෝට්ටුවකින් ධීවරයන් ලෙස වෙස්වළාගෙන ඉන්දියාවට පලා යෑමට ඔවුන් සැලසුම් කර තිබූ බවයි. ඉන්දියාවට පලා යාමෙන් පසු එතැන් සිට ඩුබායි රාජ්‍යයට යාමට ද ඔවුන් සැලසුම් කර තිබී ඇත. සැකකාර හිටපු නාවික හමුදා සෙබළා වෙනත් අයකුගේ නමකින් පෙනී සිට ඇති අතර, ඒ සඳහා සකස් කර තිබූ ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ද පොලිස් භාරයට ගෙන තිබේ. නීතිඥවරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීමේ සිද්ධියේ දෙවැනි වෙඩික්කරු මෙම හිටපු නාවික හමුදා සෙබළා බවට තොරතුරු අනාවරණය වූයේ පොලිසිය විසින් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදීය.

මෙම සියලු තොරතුරු මොණරාගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු නාවික හමුදා සෙබළාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුට අමතරව 'අංගොඩ ලොක්කා' ගේ ගෝලයකු සහ තවත් අයකු ද මීට දින දහයකට හා දින හතකට පෙර මෙම නිවසට පැමිණ නවාතැන් ගෙන සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.